ජනපතිට සහ අගමැතිට විදෙස් නායකයින්ගෙන් සුබ පැතුම්.

Saturday, 10 January 2015 - 12:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
සාර්ථක ජනාධිපතිවරණයක් සම්පූර්ණ කරලීම සහ සුගම බල හුවමාරුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් පවසනවා. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවත්, මෙරට සංවර්ධනය සහ සංහිදියාව වෙනුවෙන් සහායවීමට ජගත් සංවිධානය සූදානම් බවත්, ඔහු එහිදී අවධාරණය කළා.

සාමකාමී සහ විශ්වසනීයත්වයෙන් යුත් මැතිවරණයක් ඉතා ඉහළ වෘත්තීමය මට්ටමක් පිළිබිඹු කරමින් පැවැත්වීමට මෙරට මැතිවරණ කොමසාරිස් කාර්යාලය සමත්වීම පිළිබදව ද ජගත් මහලේකම්වරයා ප්‍රසාදය පළ කළා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු අපේක්ෂකයන්, ආරක්ෂක අංශ සහ සිවිල් සමාජය, ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයට ගරු කරමින් එහිදී ක්‍රියා කළ බවයි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක් කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එක්සත්, ස්ථාවර සහ සශ්‍රීක රටක් ගොඩනැගිමට ශ්‍රී ලාංකියන් තුළ පවතින හැකියාව බ්‍රිතාන්‍යය වටහාගෙන සිටින බවයි. ශ්‍රී ලංකාවේ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ගැන ද බ්‍රිතාන්‍ය අගමැතිවරයා තම ප්‍රසාදය පළ කළ බව සඳහන්. අතීතයේ සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින්, සියලූ ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවන් සැලසෙන, දීප්තිමත් අනාගතයක් උදෙසා රට මෙහෙයවීමට, නව ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ද සුබ පැතුවා. ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමයේ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරලීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි යුරෝපා සංගමය මගින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ සියලූ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත සශ්‍රීක සංවර්ධනයක් ඇති කරලීම සඳහා තවදුරටත් තම සහාය හිමි වන බවත් යුරෝපා සංගමය අවධාරණය කළා. ඉහළ ඡන්ද ප්‍රතිශතයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සාර්ථක කරලීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට ද ප්‍රණාමය හිමි වන බව එමගින් කියා සිටියා.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ මෙරට ජාතික සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය වනු ඇති බව ජපාන රජය ප්‍රකාශ කළා. ඒ සඳහා සියලූ පාර්ශවයන් එක්ව කටයුතු කරනු ඇතැයි ජපානය අපේක්ෂා පළ කර තිබෙනවා. එම ව්‍යායාමයේදී සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරලීම උදෙසා  අඛණ්ඩ සහාය හිමි වන බව ද ජපාන රජය සදහන් කළා.

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී - සෙයින් ලූන් සහ ජනාධිපති ටෝනි ටෑං ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට සුබ පතා තිබෙනවා. සිංගප්පූරු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ජනතා පරමාධිපත්‍යය එමගින් පිළිබිඹු වන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සංහිදියාව උදෙසා සිංගප්පූරුවේ සහාය අඛණ්ඩව සිදුවනවා. මෙරට ඉදිකිරීම් සහ සංවර්ධන ක්‍රියාදාමයන් සුබවාදී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි සිංගප්පූරු නායකයන් පෙන්වා දී ඇත්තේ.

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළා. ජනාධිපතිවරණ ජයග්‍රහණය, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැපවීම පිළිබිඹු කරන බවයි කොංග්‍රස් නායිකාව එහිදී සදහන් කර ඇත්තේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සුබ පතමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය නව මානයකට පිවිසෙනු ඇති බවයි. චීන රජය සමඟ එක්ව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්පූර්ණ කරලීම සඳහා නව රජය සහාය ලබාදෙනු ඇති බවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කළා. මෙම ව්‍යාපෘති දෙරටටම ප්‍රතිඵලදායක වන පරිදි අනොන්‍ය අවබෝධයකින් යුක්තව ඉදිරියට ගෙන යාමට චීනය සූදානම් බවයි එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය, ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන්නන්ට බලාපොරොත්තුවේ සංකේතයක් වන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළා.  මෙරට සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සශ්‍රීකත්වය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් සූදානම් බවයි ජනාධිපති ඔබාමා එහිදී සදහන් කළේ.

මේ අතර ඉන්දීය හින්දු පුවත්පතේ කතුවැකියක් මගින් ප්‍රකාශ කළේ මෙරට අග්‍රාමාත්‍ය ධුරයට තුන්වන වරටත් පත්වූ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. නව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට සමීප දේශපාලනඥයෙකු ලෙසයි හින්දු පුවත්පත හැඳින්වූයේ. නව අග්‍රාමාත්‍යවරයාට ද ඉන්දියාව ඇතුලූ රටවල් රැසකින් සුබපැතුම් හිිමිවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories