අනෙක් අපේක්ෂකයින්ට මොකද වුණේ ?

Saturday, 10 January 2015 - 13:01

%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%3F
ඊයේ (09) අවසන්වූ ජනාධිපතිවරණයේ ලියාපදිංචි මුලූ ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද එක්කෝටි 50 ලක්ෂ 44 490 ක්. ඉන් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඡන්ද එක්කෝටි විසි දෙලක්ෂ 64 දහස් 377ක් ලෙස සටහන් වුණා. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 81 යි දශම 5 යි 2 ක් ලෙස සැළකිය හැකියි. වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි විසි එක් ලක්ෂ 23 452 ක් වූ අතර සියයට 98 යි දශම 8 යි 5 ක ප්‍රතිශතයක් ලෙස එය වාර්තාවුණා. ප්‍රතික්ෂේපිත ඡුන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 40 925 ක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ සියයට එකයි දශම 1 යි 5 ක් ලෙසයි.

ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් ඡුන්ද 62 ලක්ෂ 17 162 ක් ලබාගනිමින් සියයට 51 යි දශම 2 යි 8 ක ප්‍රතිශතයක් වාර්තා කළ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වුණා. අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 57 ලක්ෂ 68090 ක්. එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 47 යි දශම 5 යි 8 ක් ලෙසයි.

මෙවර ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව තවත් අපේක්ෂකයන් 17 දෙනෙකු ඉදිරිපත් වුණා. ඡන්ද ලබාගැනීමේ අනුපිළිවෙල අනුව තුන්වන ස්ථානයට ඡන්ද ලබාගෙන තිබුණේ දේශප්‍රේමී ජාතික පෙරමුණ නියෝජනය කළ රත්නායක ආරච්චිගේ සිරිසේනයි. ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 18 174 ක් වූ අතර ප්‍රතිශතය දැක්වුණේ සියයට 0 යි දශම 1 යි 5 ක් ලෙසයි.

සිව්වන ස්ථානය හිමිවූයේ අපේ ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නීතීඥයෙකු වන නාමල් අජිත් රාජපක්ෂටයි. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15 දහස් 726 ක් ලෙස සටහන් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 0 යි දශම 1 යි 3 ක්. පස්වන ස්ථානය එක්සත් සාම පෙරමුණේ ඊබ්‍රාහිම් මිෆ්ලාර් හිමිකරගෙන තිබූ අතර ඔහුගේ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 14 දහස් 379 ක් ලෙසත් එම ප්‍රතිශතය සියයට 0 යි දශම 1 යි දෙකක් ලෙසත් සටහන් වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුවට ඡන්ද ලබාගැනීමේ අනුපිළිවෙල අනුව හිමිව තිබුණේ 9 වන ස්ථානයයි. ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව ඡුන්ද 9 941 ක්. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 0 යි දශම බින්දුවයි 8 ක් ලෙසයි.

නව සමසමාජ පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ සුන්දරම් මහේන්ද්‍රන්ට හිමිවූයේ ඡුන්ද 4 දහස් 47 ක්. ඔහුගේ ප්‍රතිශතය දැක්වුණේ සියයට බින්දුවයි දශම බින්දුවයි 3 ක් ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කළ කටුගම්පල ප්‍රසන්න ප්‍රියංකර ඡන්ද 2793 ක් ලබාගනිමින් සියයට බින්දුවයි දශම බින්දුවයි දෙකක ප්‍රතිශතයක් හිමිකරගත් අතර ඡුන්ද 2061ක් හිමිකරගත් එක්සත් ලංකා මහ සභා පක්ෂයේ ජයන්ත කුලතුංග වාර්තාකළ ඡන්ද ප්‍රතිශතය වූයේ සියයට බින්දුවයි දශම බින්දුවයි දෙකක්. මෙම ඡන්ද ලබාගැනීමේ අනුපිළිවෙලට අනුව අපේක්ෂකයන් 19 දෙනාගෙන් අඩුම ඡන්ද සංඛ්‍යාවක් හිමිව තිබුණේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නියෝජනය කළ අපේක්ෂයා වූ විමල් ගීගනගේටයි. ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 1826 ක් ලෙස දැක්වුණු අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට බින්දුවයි දශම බින්දුවයි දෙකක්.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැරුණු කොට  සෙසු අපේක්ෂකයන් 17 දෙනා අතුරින් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 1 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඊයේ අවසන්වූ ජනාධිපතිවරණයේදී හැකියාව ලැබුණේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories