ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනපති, මෛත්‍රීපාල සිරිසේනට. - විපක්ෂ නායක හිටපු අමාත්‍ය නිමල්

Friday, 16 January 2015 - 17:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්, අද (16) පස්වරුවේ රැස්වුණේ කොළඹ පදනම් ආයතනයේදීයි. කථානායක චමල් රාජපක්ෂ සමඟයි ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඒකමතිකව තේරී පත්වුණා. අනතුරුව පැවති විධායක සභා රැස්වීමේදී ද සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පත්වීම ඒකමතිකව සම්මත වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව සාමාජිකයින් 69 දෙනෙකුගෙන් සමන්විත වන අතර විධායක සභාව සාමාජිකයන් 241 දෙනෙකුගෙන් සමන්විත වනවා.

මෙම රැස්වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බවයි. පාක්ෂිකයන්ගේ ආරක්ෂාව සහ පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පිළිබද අවධානය යොමු කරන ලෙස ද ඔහු එමගින් ඉල්ලා තිබුණා.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අතර එහිදී විපක්ෂ නායකවරයා ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, තෝරා පත් කර ගත්තා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස තේරී පත්වුණේ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයාගේ සහ භාණ්ඩාගාරික ධුරය හෙඹවූ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම තනතුරු අද දිනයේ වෙනස් වූයේ නැහැ.

රැස්වීම අවසන් වී පිටතට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ තවදුරටත් මහලේකම් ධුරයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබදවයි. එහිදී ඔහු පිළිතුරු ලබා දුන්නේ මෙතෙක් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉවත්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරණ පරාජයේ වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වූ බව තමාට දුරකථනයෙන් දැනුම් දුන් බව අමාත්‍යවරයා කියා සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඌව පළාතේ හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සදහන් කළේ පළාත් සභාව තුළ සිදුවූ බල පෙරළිය නීතිවිරෝධී බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කර ගත්තේ පක්ෂයේ 6 වන සභාපතිවරයායි. එහි ඉතිහාසය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ගෙන එන සටහනක් මේ.

‘‘අද සභාපති ධුරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 වන නායකයායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 සැප්තැම්බර් 2 වන දා බිහි වන්නේ එවකට පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක ඉන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟයි. ඒ අනුව නිදහස් පක්ෂයේ පළමු සභාපතිවරයා වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකයි.

1952 දී පළමු මැතිවරණයට මුහුණ දෙන එම පක්ෂය ආසන 9ක් දිනා ගත් අතර, 1956 නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා. පසුව 1959 සැප්තැම්බර් 25 වන දා එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාව ඝාතනයට ලක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා වන්නේ විජයානන්ද දහනායක වුවත්, පක්ෂ සභාපති ධුරය හිමි වන්නේ සී.පී. ද සිල්වාටයි.

1960 මාර්තු මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් හිමි වන්නේ නැහැ. එම වසරේම ජුලි මාසයේ මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන අතර, සිරිමාවෝ බණ්ඩාරනායක පක්ෂ සභාපතිනිය බවට පත්වනවා. 1962 හමුදා කුමන්ත්‍රණයකින් ගැලවෙන ඇය, 1964 වමේ පක්ෂ සමඟ සන්ධානයක් ගොඩනගා ගත්තත්, 1964 රාජාසන කථාව පරාද වන්නේ සී.පී. ද සිල්වා ඇතුළු පිරිසක් විපක්ෂයේ අසුන්ගැනීමත් සමඟයි.

1965 ‘හත්හවුල්’ ආණ්ඩුවක් ගොඩනගන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1970 වසරේ ‘සමගි පෙරමුණ’ ලෙස ජයග්‍රහණය කරනවා. 1977 දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයෙන් පසු 1980 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරෙන්නේ වසර 7කටයි. 1982 දී නිදහස් පක්ෂය හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අතර 1988 දී සිරිමාවෝ බණ්ඩාරනායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා. 1993 දී පොදුජන එක්සත් පෙරමුණ ලෙස දකුණු පළාත් සභාව ජය ගනිමින් ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වූ  නිදහස් පක්ෂය 1994දී ජනාධිපතිවරණය ජය ගන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඒ ජයග්‍රහණයත් සමඟ පක්ෂ සභාපති ධුරය හිමි වන්නේ ද ඇයටයි.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ඔහුට හිමි වනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වී එතෙක් නිදහස් පක්ෂයේ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමත් සමඟ අද එම පක්ෂයේ සභාපති ධුරය නව ජනාධිපතිවරයාට හිමි වුණා.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories