විමල්, දිනේෂ්, ඩග්ලස්, අතාවුල්ල සහ වම, සන්ධානයෙන් වෙන්වේ.

Monday, 19 January 2015 - 19:11

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%B8%2C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.
තමන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ස්වාධීන පක්ෂ ලෙස වෙන වෙනම ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ රැසක නායකයන් අද (19) කථානායක චමල් රාජපක්ෂට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. සහ වමේ පක්ෂ ඊට අයත්.

මේ සම්බන්ධයෙන් විමසීමේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කියා සිටියේ මෙම පක්ෂ නායකයින්ගේ ඉල්ලීම පිළිබදව කථානායකවරයා තමන් දැනුවත් කළ බවයි. එහෙත් විපක්ෂයේ වෙන වෙනම පක්ෂ ලෙස ක්‍රියා කිරීමට ඔවුන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් කථානායක, චමල් රාජපක්ෂ මෙතෙක් දැනුම් දී නොමැති බව ඔහු සඳහන් කළා.

අද දිනයේ කථානායකවරයා හමුවූ සන්ධානයට අයත් එම පක්ෂ සතුව පාර්ලිමේන්තුවේ ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 14ක්. ඉන් 3ක්, මහජන එක්සත් පෙරමුණටත්, 2ක් ජාතික නිදහස් පෙරමුණටත් අයත් වනවා. කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අයත් වන වමේ පෙරමුණට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5ක්. ඊ.පී.ඞී.පී. සංවිධානයට මන්ත්‍රී ධුර 3ක් ද, ඒ.එල්.එම්. අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් ද හිමි වනවා.

කෙසේ වෙතත්, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 128ක්. එයින් රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, නවීන් දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, ෆයිසර් මුස්තාෆා යන මන්ත්‍රීවරුන් නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරනවා.

ජනාධිපතිවරණයෙන් පසු පළමු වතාවට හෙට දින රැස්වන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙම අමාත්‍යවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇති. නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතීත්වයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද සභාපති ධුරයට පත්වන බව අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. නිදහස් සන්ධාන ව්‍යවස්ථාවේ එවැනි වගන්තියක් ඇති බවයි ඔහු කියා සිටියේ. අද දිනයේ නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළත්, එය තහවුරු කර ගැනීමට එහි ලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහ ව්‍යර්ථ වුණා. කෙසේ වෙතත්, මහජන එක්සත් පෙරමුණ ඇතුළු අද දිනයේ කථානායකවරයා හමුවූ නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් එවැනි රැස්වීමක් ගැන දැනුවත්ව සිටියේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories