පෙරටුගාමීන් ජනපතිට ලියයි

Friday, 06 February 2015 - 19:36

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ සිය දේශපාලන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ද යොමු කළ බවයි එම පක්ෂය සඳහන් කළේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම ලිපියේ සදහන් කරන්නේ රට තුළ ඇති වී තිබෙන නව දේශපාලන පරිවර්තනයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලට ගෙන තම ඉල්ලීම පිළිබදව සලකා බලන ලෙසයි. කුමාර් ගුණරත්නම්ට මෙරට තුළ දේශපාලන කටයුතු සිදුකිරීමට නීතිමය බාධාවකින් තොරව අවස්ථාවක් ලබාදෙන ලෙස ඔවුන් එමගින් ඉල්ලා සිටිනවා. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හෝ ඔහු රටින් නැවතත් පිටුවහල් කිරීමේ අවදානමක් මේ වනවිට පවතින බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් වන්නේ.

එම ලිපියට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් 57 දෙනෙකු අත්සන් කර තිබීම ද විශේෂත්වයක්.

මෙම ලිපියට අත්සන් තබා ඇති විද්වතුන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ද සිටිනවා. අප ඔහුගෙන්ද මෙම ලිපියට අත්සන් තැබීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සිදුවූ ඉතිහාසය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි.      

මීට පෙර දිවයිනට පැමිණ සිටියදී පිටුවහල් කළ කුමාර් ගුණරත්නම් පසුගිය ජනවාරි 1 වන දා  නැවතත් දිවයිනට පැමිණියේ ඔහු පිටුවහල් කිරීමට හේතු වූ දඩ මුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමෙන් අනතුරුවයි. පසුගිය වර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ වීසා කල් ඉකුත්වීමෙන් අනතුරුව ද මෙරට රැදී සිටීම හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට දඩ නියම කෙරුණා. කෙසේ වෙතත්, පසුගිය දා ඔහුට දෙවරක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යාමට සිදුවුණේ දිවයිනට පැමිණීමෙන් පසු සිදුකළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. තුන්වන වරට ද එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එම අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories