නව හවුලේ රැස්වීමට ආරාධනයක් නෑ

Monday, 09 February 2015 - 19:07

%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (09) එහි පැමිණියා.

කූඨ ලේඛණ සැකසීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගැනුණු තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පසුගිය දෙවැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඉන් අනතුරුවයි ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නායකත්වය දරණ පක්ෂ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල එක්ව මේ මස 18 වැනිදා නුගේගොඩ සංවිධාන කර ඇති රැළියට එක්වන්නේ ද යන්නයි. හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි රැස්වීමක් පිළිබද තමන්ට ආරාධනා කර නොමැති බවයි. එමෙන්ම එම රැස්වීම සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද යන්න ඔහු එහිදී මාධ්‍යවේදීන්ගෙන් පෙරළා ප්‍රශ්න කර සිටියා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ පාලිත තෙවරප්පෙරුමගේ සුවදුක් සොයා බැලූවා. ඔහු පිටතට පැමිණෙන අවස්ථාවේ එම ස්ථානයේ රැදී සිටි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ දියණිය සමගද කතා බහක ද නිරත වූණා. ඇය එහිදී සිය පියාගේ සුව දුක් බැලීමට පැමිණීම සම්බන්ධයෙන් අමාත්‍යාවරයාට ස්තූතිය ද පළ කර තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ සිටින තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බැලීම සඳහා මීට පෙර විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ගොස් තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories