පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ කල්ලියක් සිටිනවා ද?

Friday, 20 February 2015 - 19:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%3F
අධිකරණ නියෝගයක් නොමැතිව පන්නිපිටිය - දෙපානම ප්‍රදේශයේ පිහිටි තම කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමෙන් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර ප්‍රකාශ කළා. අද (20) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු වන ඔහු මේ වනවිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් ඊයේ රාත්‍රියේ තම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් 03 දෙනෙකු සහ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු මෙම පරීක්ෂාව සිදුකර ඇති බවයි ඔහු කියා සිටියේ. කුමාර් ගුණරත්නම් සෙවීම පරීක්ෂා කිරීමේ අරමුණ වී තිබූ බවද අජිත් කුමාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අද උදෑසන මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර තවදුරටත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඔහු එහිදී විමසා සිටියේ පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් රට තුළ ක්‍රියාත්මක වේද යන්නයි.

කෙසේ වෙතත්, මෙවැනි පරීක්ෂා කිරීමකට පොලිස් නිලධාරීන් සම්බන්ධ වූයේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය අද පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසූ අතර, ඔහු කියා සිටියේ නීති විරෝධී යමක් එහි සිදුව ඇත්නම් ඒ පිළිබදව පියවර ගන්නා බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇති වී ඇත්තේ ඔහු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වීම හේතුවෙන්. පසුගිය ජනාධිපතිවරණයට පෙර සංචාරක වීසා උපයෝගී කරගනිමින් දිවයිනට පැමිණි  ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලය ඉකුත් ජනවාරි 31 වැනිදායින් අවසන් වුණා. අනතුරුව ආගමන විගමන පාලකවරයා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ නීතිවිරෝධීව මෙරට රැඳී සිටින කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඊට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකළා. ඒ, කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලන නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

පෙරේදා එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූණු අවස්ථාවේදී පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටයි අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ. පසුව ආගමන විගමන පාලකවරයා කුමාර් ගුණරත්නම්ට දැනුම් දුන්නේ ගුවන් ටිකට්පත රැගෙන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසයි. එහෙත් අද පස්වරුව වනවිටත් ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ නැහැ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කුමාර් ගුණරත්නම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙන් කරුණු විමසුවා. ඔහු එහිදී ප්‍රශ්න කළේ කුමාර් ගුණරත්නම්ට එරෙහිව ආණ්ඩුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම මත බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කර ඇති බවයි. විජිත හේරත් මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලබාදීම ආරම්භ කළේ එවැනි ප්‍රකාශයක් සිදුකර ඇතැයි තමන් නොදුටු බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories