උමා ඔයේ භූගත උමෙඟන් ජල කාන්දුවක්

Wednesday, 25 February 2015 - 8:10

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B8%E0%B7%99%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ භූගත උමෙඟන් ජල කාන්දුවක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එම අධිකාරිය සිදුකළ පරීක්ෂණවලින් මේ බව හෙළිවී ඇති බවයි එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය නිසා පරිසර ඇගයීම් කමිටු වාර්තාවේ කොන්දේසි කිහිපයක්ද කඩවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ලැබුණු පැමිණිලිවලට අනුවයි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් භූගත ජල සොරකමක් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත මීට පෙර ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ උමාඔය ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් සිදුවන විනාශය තක්සේරු කළ නොහැකි බවයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා තම නිවෙස්වලට විවිධ බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදේශවාසීන් ද දිගින් දිගටම චෝදනා කරනවා. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, පුහුල්පොළ ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු සංඛ්‍යාව 200කට ආසන්නයි. ප්‍රදේශයෙන් ඉවත් කෙරෙන ජනතාවට වන්දි ලබාදීමට පොරොන්දු වුවත් තවමත් එම වන්දි මුදල් ද නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අදාළ ව්‍යාපෘතිය යළිත් ආරම්භ කරන ලෙස ඉල්ලමින් පසුගියදා පිරිසක් විරෝධතාවකද නිරතවුණා.

කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි තවදුරටත් සඳහන් කළේ පාර්ශව දෙකකින් ලැබීමට නියමිත වාර්තා සළකා බැලීමෙන් අනතුරුව ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories