දැඩි කොන්දේසි මත ශෂී වීරවංශට ඇප

Friday, 27 February 2015 - 11:15

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළේ ශෂී වීරවංශ රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

ඊට අමතරව, සෑම මසකම අවසන් සිකුරාදා පෙරවරු 9 ත් 12 ත් අතර අධිකරණ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටිය යුතු බවට ඇයට පැනවූ එක් ඇප කොන්දේසියක්. කොන්දේසි කඩකරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නා.

එමෙන්ම, අධිකරණ භූමියට පැමිණ සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අවවාද කරමින් කියා සිටියේ අධිකරණ භූමිය ඉදිරිපිට දේශපාලන රැස්වීම් පවත්වන ආකාරයට කතා කිරීමෙන් වළකින ලෙසයි.

අවිධිමත් ලෙස සකස් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ අත්අඩංගුවට ගත්තේ පසුගිය 22 වැනිදායි.

මෙම නඩුවට ස්වේච්ඡාවෙන් පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නිනායක විනිසුරුවරයා හමුවේ කියා සිටියේ සැකකාර ශෂී වීරවංශගේ දරුවන් දෙදෙනා මෙම සිද්ධිය හේතුවෙන් දවස් ගණනාවක් පාසල් ගොස් නොමැති බවයි. මේ නිසා මානුෂික කරුණු ගැන සලකා ඇයට ඇප ලබාදෙන ලෙසත් නීතීඥවරයා මෙහිදී ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඇයට ඇප නියම කළ අතර මෙම නඩුව මැයි මස 15 වැනිදා යළි කැඳවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories