Update: ඉන්දු - ශ්‍රී ලංකා බැඳීම ස්ථාවරයි - අගමැති මෝදි

Saturday, 14 March 2015 - 11:02

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතිින්නේ ස්ථාවර බැඳීමක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සහෝදරත්වය සහ අධිෂ්ඨානය තුළින් රට දියුණු කිරීමට සියලූදෙනා කැපවිය යුතු බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයට මුල් ගල් තැබීමෙන් අනතුරුව යාපනය පුස්තකාලයේ අද (14) පැවති හමුවක් අමතමින්.

මෙම උත්සවය ඇමතූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපතිවරයාට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ධුරයට පත්වීමෙන් පසු ප්‍රකාශ කළ බවයි. ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යන ගමන දුෂ්කර එකක් බව ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත් සභා අතර මෙන්ම, දෙරටේ රජයන් අතර ද මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය යුතු බවයි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කියා සිටියේ.

දෙදින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ දෙවන දිනය වන අද ඔහු සිය වැඩ කටයුතු ආරම්භ කළේ අනුරාධපුර පූජා භූමියට පැමිණෙමින්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට මහමළුවට පැමිණි අවස්ථාවේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඔහුට සෙත් පිරිත් සඡ්ජායනා කර ආශිර්වාද පළ කළා.

අනුරාධපුරයට  පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැක බලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටීම ද විශේෂත්වයක්. එම ජනතාව අතරට ගොස් සුවදුක් විමසීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමතක කළේ නැහැ. ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුවන්වැලි මහසෑ රඳුන් වැද පුදා ගත්තා.

ඉන් පසුව ඔහු තලෙයිමන්නාරම දුම්රියපොල වෙත ළඟා වූ අතර ඉන්දීය රජයේ ආධාරයෙන් ප්‍රතිසංස්කරණය කළ එම දුම්රියපොල විවෘත කරනු ලැබුවා. ඒත් සමඟම මඩු සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය ද ආරම්භ වීම විශේෂත්වයක්. තලෙයිමන්නාරම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීපතම ස්ථානය ලෙස සැලකෙනවා. මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන මෙම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වසර 25 කට ආසන්න කාලයක් ඇණ හිට තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යාපනයට පැමිණියේ ඉන් අනතුරුවයි. යාපනයේ සංචාරය කළ ප්‍රථම ඉන්දීය නායකයා බවට පත්වූ ඔහු ඉන්දීය සහායෙන් උතුරේ ඉදිවන නිවාස 50,000 ව්‍යාපෘතියේ නිවාස කිහිපයක් අවතැන්වූවන් සඳහා සංකේතවත් ලෙස භාර දීම සිදුකළා.   යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයට ද අද මුල්ගල් තැබුණේ ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සුරතින්. උතුරු සංචාරය නිම කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යළිත් කොළඹට ළඟා වුණා. අද රාත්‍රී 8 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්දියාව බලා නික්මෙන නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඊට පෙර කොළඹදී මෙරට දේශපාලන සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද හමුවීමට නියමිතව තිබෙනවා.

ඊයේ (13) අලූයම දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පිළිගැනීමේ උත්සවය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. අනතුරුව, මරදාන මාලිගාකන්ද මහාබෝධි විහාරස්ථානයට ගිය ඔහු පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතුවේ සභා ගර්භයේ සිට මෙරට පාර්ලිමේන්තුව ඇමතූ පළමු ඉන්දීය නායකයා බවට ඉතිහාස පොතට එක්වෙමින්. පාර්ලිමේන්තුව බලා පිටත්ව යාමට පෙර පැවති දිවා භෝජන සංග්‍රහයෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර ද්වීපාර්ශවික ගිවිසුම් 4 කට ද අත්සන් තැබුණා. රාජ්‍ය තාන්ත්‍රික සහ නිල ගමන් බලපත්‍ර හිමියන් දෙරටේ සංචාරයන් සඳහා වීසා බලපත් වලින් නිදහස් කිරීම, දෙරට අතර රේගු කටයුතු, තරුණ කටයුතු සංවර්ධනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවක් ස්ථාපිත කිරීම සඳහායි එම ගිවිසුම් අත්සන් කළේ.



Update: Saturday, 14 March 2015 - 07:15 PM
..................................................................
මෝදි ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනී

දෙදින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර නගරයට පැමිණියා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රීමහා බෝධිය වැද පුදා ගැනීමට මහමළුවට පැමිණි අවස්ථාවේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පිරිත් නූල් බැඳ ආශිර්වාද පළ කළා. අනුරාධපුරයට  පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැක බලා ගැනීමට ජනතාව විශාල පිරිසක් එක්රැස්ව සිටියා. එම ජනතාව සමඟ කතාබහ කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමතක කළේ නැහැ. ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුවන්වැලිසෑ මහා දාගැබ ද වැද පුදා ගත්තා.

අනුරාධපුර චාරිකාව නිමවා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යාපනය බලා පිටත් වන අතර යාපනයේ සංචාරය කරන ප්‍රථම ඉන්දීය නායකයා බවට පත්වනවා. යාපනයට යාමට පෙර ඉන්දීය අග්‍රමාත්‍යවරයා තලෙයිමන්නාරම බලා යන්නේ ඉන්දීය සහයෙන් ප්‍රතිසංස්කරණය කළ දුම්රිය මාර්ගය විවෘත කිරීමටයි. තලෙයිමන්නාරම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීපතම ස්ථානය ලෙස සැලකෙනවා. යාපනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය සහායෙන් උතුරේ ඉදිවන නිවාස 50,000 අවතැන්වූවන් සඳහා සංකේතවත් ලෙස භාර දීම සිදුකරනවා. යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ද විවෘත වන්නේ ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ සුරතින්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories