අත්සන් දස ලක්ෂයට ගල් ප්‍රහාරයක්

Sunday, 15 March 2015 - 19:20

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආ යුතු බව පවසමින් අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනේ තවත් පියවරක් අද (15) නුවරඑළිය - හැටන් ප්‍රදේශයෙන් ආරම්භ වුණා. හැටන් බස් නැවතුම්පළ අසළ මෙම අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත්, අත්සන් ලබා ගැනීමේ වැඩසටහන පැවැත්වෙන අතරතුර ඊට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි එම වැඩසටහන සංවිධානය කළ අඹගමුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හැටන් පොලීසියෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ එවැනි පහරදීමේ සිද්ධියක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වෙතත්, අප වාර්තාකරු සදහන් කළේ ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යෙදවූ බවයි. අදාළ චෝදනාව එල්ල වන එක්සත් ජාතික පක්ෂ සංවිධායක කේ.කේ. පියදාසගෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට එක් කර ගැනීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගේ සංසදය ද ඊයේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. බටදූව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ පැවති එම හමුවට ගාල්ල දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රිවරුන් 40ක් පමණ සහභාගි වී සිටි බව සඳහන්.

රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, මොහාන් පී. ද සිල්වා සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම අවස්ථාවට එක්වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories