19 ගැන ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අවස්ථාව

Monday, 16 March 2015 - 12:33

19+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80
අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කළ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමට ජනතාවට හැකියාව පවතින බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගන්නවාද එසේ නොමැතිනම් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුද යන්න පැහැදිළි කරගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් අතර එය ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා ඊයේ දිනයේදීම රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි කියවුණේ. කෙසේ වෙතත් මේ දක්වා එම කෙටුම්පත රජයේ මුද්‍රණාලයට ලැබී නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් වැඩබලන මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා සඳහන් කළා.

එහෙත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම කෙටුම්පතේ ඇතැම් කරුණුවලට රජයේ හවුල්කාර පක්ෂ අතරද විවිධ මත පවතින බවයි. කෙසේ වෙතත් මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට සංශෝධන එක් කිරීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි මූලික කරුණු 8 කට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එකඟතාව හිමිවූ බවයි කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබද බලය ඉවත් කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී නිර්නායකයන්ට යටත්ව සිදුකිරීම හා ජනාධිපති ධුර කාලය වසර 6යේ සිට 5 දක්වා අඩු කිරීමට ද යෝජනා වී තිබෙනවා. ඊට අමතරව ජනාධිපති ධුර කාල දෙකකට සීමා කිරීම ද නව පනත් කෙටුම්පත මගින් යෝජිතයි.

මීට අමතරව මනාප ඡුන්ද ක්‍රමය අහෝසි කොට සෑම ආසනයකටම මන්ත්‍රීවරයෙකු නියෝජනය කළ හැකි පරිදි මිශ්‍ර ඡුන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී පිළිගෙන තිබෙනවා. නව පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති තවත් සංශෝධනයක් වනුයේ  කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීමයි. මීට අමතරව කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40කට සීමා කිරීමට ද යෝජනා වී තිබෙනවා.

වරදකරුවන්ට සමාව දීමේදී ජනාධිපතිවරයා යම් නිර්ණායකයන්ට අනුව එය සිදුකිරීමටත් නියමිතයි. එසේම ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ලෙස ද පිළිගැනෙන අයුරින් අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කර ඇති බවයි කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතරද විවිධ මත පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories