Update : ජාතියට පණදෙන්න මහින්දට අවස්ථාවක් උදා වෙලා - විමල් වීරවංශ

Friday, 27 March 2015 - 8:07

Update+%3A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81
පැවති රජයේ අඩුපාඩු හදා ගනිමින් ජාතියට පණදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැන් අවස්ථාවක් උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියාසිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කරන ලෙස බල කරමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ තෙවැනි ජනරැළියට ඊයේ (26) පස්වරුවේ රත්නපුරයේදී එක්වෙමින්.

විශාල ජන පිරිසක් සහභාගි වූ මෙම රැළිය පැවැත්වුණේ මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතා අභිලාෂයන් ඉටු කරමු යන්න තේමා කර ගනිමින්. සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් එම රැළිය ආරම්භ වුණා. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වයි.ජී.පද්මසිරි, ශ්‍රියානි විජේවික්‍රම මෙන්ම කලාකරුවන් හා විද්වතුන් ඇතුළු විශාල පිරිසක්ද රැළියට එක්ව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, ටී.බී ඒකනායක, එස්.එම් චන්ද්‍රසේන, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සහ ලොහාන් රත්වත්ත, කමලා රණතුංග, රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්ඩාර, දිලූම් අමුණුගම, චාමික බුද්ධදාස, විදුර වික්‍රමනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් මෙම ජන රැළියට එක්වීම විශේෂත්වයක්.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු මහඇමති එස්.එම් රංජිත් ඇතුළු එම පළාත් සභා දෙකේ මහජන නියෝජිතයන් පිරිසක් ද රැළියට එක්ව සිටියා. එමෙන්ම, දකුණු සහ සබරගමු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම රැළිය සඳහා එක්ව සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී ජනරැළිය ඇමතූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර කියා සිටියේ වත්මන් ආණ්ඩුව අවසන් කර නැවතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සැවොම එක්විය යුතු බවයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ජන රැළියේදී අදහස් දක්වමින් කියා සිටියේ අමාත්‍ය රාජිත සේනාරත්න යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට පැමිණි පුද්ගලයෙකු බවයි.

ජන රැළියේදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් පප්‍ධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට පියවර ගත යුතු බවයි.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ජන රැළියේදී මෙලෙස අදහස් පළ කර සිටියේ ලෝක කම්කරු දිනයේදී වෘත්තීය සමිති 100 ක් සමඟ එකතු වී ඓතිහාසික මැයි රැළියක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/mUvi7V



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories