"මම ගුවන් සේවිකාවක් දැම්මා"

Saturday, 11 April 2015 - 8:06

%22%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%22
ශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගම සම්බන්ධයෙන් එල්ල වන දූෂණ චෝදනා පිළිබද එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඊයේ (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ පසුගිය දා ප්‍රකාශයට පත් කළ ගුවන් සමාගම පිළිබඳ වැලිඅමුණ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම්.

වෙනත් විකල්ප තිබියදී ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක වියදමින් නව ගුවන් යානා මිලදී ගැනීම පිළිබදව එමගින් හිටපු සභාපතිවරයාට චෝදනා කර තිබුණා. එහෙත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එවකට සමාගම සතුව තිබුණේ අවුරුදු 12ත්, 18ත් අතර පැරණි ගුවන් යානා බවයි. එම නිසා අනෙක් ගුවන් සේවා සමඟ තරඟ කිරීමේ අරමුණින් ශ්‍රී ලන්කන් එයාර් ලයින් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගත් බව  ද ඔහු නිකුත් කළ නිවේදනයේ සදහන්.

බෙන්ස් මෝටර් රථයක් සහ ප්‍රාඩෝ රථයකට අමතරව ව්‍යාජ ලියකියවිලි මගින් අධිසුඛෝපභෝගී වාහනයක් භාවිත කළ බවට එල්ල වන චෝදනාව ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා ප්‍රතික්ෂේප කරනවා. ගුවන් ටැක්සි සේවයක් ආරම්භ කර මිලියන ගණනක පාඩුවකින් පසු එය වසා දැමූ බවට එල්ල වන චෝදනාවට ද ඔහු කරුණු දක්වා ඇති අතර එහි සදහන් වන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් එම පියවර ගත් බවයි. ලාභ නොලැබීම නිසා එය අතහැර දැමූ බව අදාළ නිවේදනයේ සදහන්.

ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට අනුයුක්ත කළ බවට ද හිටපු සභාපතිවරයාට එරෙහිව දැඩි චෝදනාවක් එල්ල වුණා. එහෙත් මහජන සම්බන්ධතා කාර්්‍යයක්  සඳහා එසේ සිදුකළ බවත්, ඇයගේ ගුවන් සේවා බලපත්‍රය අහෝසි නොවීම සඳහා ඇය සීමාසහිත ගුවන් ගමන් ප්‍රමාණයක් සිදුකළ බවත්, ඔහු ඊයේ නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල වාහන අමතර කොටස් ගෙන්වූ බවටත් එය වැළැක්වීමට කටයුතු කළ කළමනාකරුවෙකු හිටපු ජනාධිපතිවරයාගේ නියමයෙන් මාරු කළ බවටත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබුණා. එම චෝදනාවෙන් තමා මෙන්ම තම බෑණා වන යෝෂිත ද මවිතයට පත්වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සදහන් කරන්නේ තමන්ට එල්ල කර ඇති චෝදනාවලට මූලික වී ඇත්තේ ඉතා සංකීර්ණ සහ තාක්ෂණික කාරණා බවයි. ඒවා ආවාට ගියාට සාකච්ඡා කළ නොහැකි බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ සදහන්. ඔප්පු නොකරන ලද චෝදනා ප්‍රසිද්ධියට පත් කර දේශපාලන කරුණු මුල්කරගෙන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට ද ඔහු මෙහිදී චෝදනා කරනවා. පසුගිය රජයට විරුද්ධ ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු වූ නීතිඥ ජේ.සී. වැලිඅමුණගෙන් අපක්ෂපාතී විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories