Update: ඇමරිකාවට ගිය බැසිල් දින 100 කට පසු ලංකාවට පා තබයි

Tuesday, 21 April 2015 - 13:43

Update%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (21) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 348 යානයෙන්. හිටපු අමාත්‍යවරයා පැමිණීම හේතුවෙන් ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තය මද වේලාවකට වසා දමා දැමීමට ගුවන් තොටුපල බලධාරීන් පියවර ගත්තා. ඒ, හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන්.

බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර  ඇතුලූ තවත් දේශපාලන නියෝජිතයින් රැසක් හිටපු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපල පර්යන්තයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හිටපු අමාත්‍යවරයා ගුවන් තොටුපල විශේෂ මගී පර්යන්තයෙන් පිටතට පැමිණි පසුව ඔහු  වෙනුවෙන් මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනයක් ද සිදුකර තිබෙනවා. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ නීතිගරුක පුරවැසියෙකු ලෙස තමන්ට එරෙහිව පවතින පරීක්ෂණවලට පෙනී සිටීම සඳහා ඉදිරිපත් වන බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි මස 10 වැනිදා ඇමරිකාව බලා පිටත්ව ගියා. පසුව ඔහු නිවේදනයකින් සඳහන් කළේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන් ඇමරිකාව බලා පිටත්ව ගිය බවයි. ඒ අනුව අද ඔහු යළි පැමිණියේ දින 101 ට පසුවයි.

කෙසේ වෙතත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතා, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වැයකිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක මුදලක් වැයකිරීම ඇතුලූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් නඩුවක් ගොනු කළා. පසුගිය මාර්තු 31 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකණය හමුවේ එය කැඳවූ අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ගුවන් තොටුපලේදීම මූල්‍ය අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

ඒ අනුව අප එවැනි ප්‍රකාශයක් ලබාදෙන්නේදැයි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ.ආර්. ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හෙට හෝ අනිද්දා යන දෙදින තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පැමිණීම නිසා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ මගී පර්යන්තය මද වේලාවකට වසා දැමීම හේතුවෙන් එහි රැඳී සිටි ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. 



Update: Tuesday, 21 April 2015 - 07:16 PM
...............................................................................................................................

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 348 යානයෙන්. මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයද වසා දමා තිබූ අතර  එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ එම පර්යන්තයට ඇතුළුවීමට තවමත් කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවයි.  හිටපු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුලූ කිහිපදෙනෙකු ගුවන් තොටුපලට පැමිණ සිටියා. එසේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විරෝධය පළ කරන කණ්ඩායමක්ද ගුවන් තොටුපල පරිශ්‍රයේ රැඳී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය මේ වන විට වසා දමා තිබෙනවා. එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ එම පර්යන්තයට ඇතුළුවීමට කිසිවෙකුටත් මේ වන විට අවස්ථාවක් නොමැති බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories