Update: බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට

Wednesday, 22 April 2015 - 18:35

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
රක්ෂිත බන්ධනාගාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ සිට මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට රැගෙනවිත් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාර නිලධාරින් සමඟ හිටපු අමාත්‍යවරයා බාහිර රෝගී අංශය වෙත ඇතුළත් කළ බවයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවට අදාළව සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඊයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තා. පසුව ඔහු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ඉන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. හිටපු අමාත්‍යවරයා සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කළ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ වනවිට ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට රැගෙන විත් තිබෙනවා.



Update: Thursday, 23 April 2015 - 13:14
...................................................................................................................................................................

බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

මූල්‍ය අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැයි මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මීට අමතරව මූල්‍ය අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවකද මැයි මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) රාත්‍රියේ  නියෝග කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නීතීඥ යූ.ආර්. ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු අමාත්‍යවරයා ඇතුලූ තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් බන්ධනාගාර රෝහලට යොමු කිරීමට පියවර ගත් බවයි.

මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට එළඹෙන 27 සහ 28 යන දෙදින තුළ පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සඳහා සහභාගිවීමටද අවසර ලබාදී තිබෙනවා.  

ඊයේ උදෑසන 11 ට පමන බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. එහිදී දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක අත්අඩංගුවට ගත්තා. ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේ ඊයේ රාත්‍රී 9 ට පමණයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන බව සැළවීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා සහ තවත් මන්ත්‍රිවරුන් රැසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

මීට අමතරව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ විශාල පිරිසක් රැස්ව සිටි බවයි වාර්තාවුණේ. මේ හේතුවෙන් අධිකරණය අවට පොලිස් ආරක්ෂාවද තරකර තිබුණා.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි නවගමුව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් හට බාධා එල්ල කළා.

Update: Thursday, 23 April 2015 - 8:14
--------------------------------------------------
බැසිල් ඇතුළු තිදෙනා රක්ෂිතයට

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අත්අඩංගුවට ගනු ලැබූ  තිදෙනා  ලබන  5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ලවූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයාවෙත ඉදිරිපත් කෙරුණා.



Update : Wednesday, 22 April 2015 - 23:47
------------------------------------------------------

හිටපු අමාත්‍ය බැසිල් ඇතුළු 3ක් අත්අඩංගුවට

මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ලවූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ. රණවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නීතීඥ යූ.ආර්. ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන් අද (22) රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අද (22) උදෑසන 11 ට පමන බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. එසේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගනුදෙනු සම්බන්ධයෙන් එහි හිටපු සභාපතිවරයෙකුද වන, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද ප්‍රශ්න කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories