Update: සහන රැගත් පළමු යානය නේපාලයට

Sunday, 26 April 2015 - 7:56

Update%3A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
භූකම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී  ලංකාවෙන් පිටත්වූ  පළමු  ගුවන් යානය අද (26) පෙරවරු 10.30 ට කත්මන්ඩු ගුවන් තොටුපලට ළඟාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.  පළමු සහන කණ්ඩායමට වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, විදුලි ඉංජිනේරුවන් ඇතුලූ 48 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇතුළත්.















මේ අතර විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන්  සහන කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් යුද හමුදාව සිය වෛද්‍යවරුන්ගෙන් සමන්විත 180 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අවශ්‍ය වුවහොත් නේපාලයට පිටත් කර හැරීම සඳහා සූදානම් කර තිබෙනවා.

නේපාලයට වැඩි වශයෙන් වෛද්‍ය අංශයේ සහන සේවාවන් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙතොත් දුරකථන අංක 071 2 492 484 අමතන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කළා.



Update : Sunday, 26 April 2015 - 12:34
---------------------------------------------- 

නේපාල ජනපති සමඟ අගමැති රනිල් සාකච්ඡාවක

නේපාලයේ භූ කම්පනයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නේපාල ජනාධිපති රාම් බරන් යාදව් සමඟ අද (26) උදෑසන දුරකථන සාකච්ඡාවක නිරතව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ව්‍යසනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ මෙරට ජනතාවගේ සහය සහ ශෝකය අග්‍රාමාත්‍යවරයා විසින් නේපාලය වෙත පළකර ඇති බවයි.  අවාසනාවන්ත අවස්ථාවේ ශ්‍රී ලංකාව නේපාලය සමඟ එක්ව සිටින බවත් හැකි සෑම සහයෝගයක්ම නේපාලය වෙත ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී දන්වා තිබෙනවා. නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාල සමඟද ඊයේ (25)  අග්‍රාමාත්‍යවරයා දුරකථන සාකච්ඡාවක නිරතව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

Update : Sunday, 26 April 2015 - 09:57
----------------------------------------------

නේපාලයේ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ

නේපාලයේ - කත්මණ්ඩු අගනුවර ආසන්නයේ සිදුවු භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න තහවුරු කළා. භූ කම්පනයෙන් පසු නේපාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් තානාපතිවරයා සඳහන් කළේ නේපාලය තුළ සිටින  ශ්‍රී ලාංකිකයන්ට කිසියම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වෙතොත් ඒ  සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක්ද වෙන්කර ඇති බවයි.

ඒ අනුව 0097 7985 1020 057  අංකය ඔස්සේ නේපාලයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතිය හැකියි.

භූ කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට කඩිනම් සහන සහ ආධාර සැපයීමට  ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාකර ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම්ගේ සම්බන්ධීකරණයෙන් මේ සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.



ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නේපාල අග්‍රාමාත්‍යවරයා වෙත සිදුවූ ව්‍යවසනය පිළිබඳ සිය කණගාටුව සහ ශෝකයද පළ කර ඇති බව සඳහන්. සහන සේවා සඳහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 වර්ගයේ විශේෂ යානයක් අද (26) අළුයම 5 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නේපාලය බලා පිටත් වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විදුලි කාර්මිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 48 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම යානයෙන් නේපාලය බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, වියළි ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සහන සේවකයින් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද පස්වරුවේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතයි. මේ අතර, අවශ්‍ය වුවහොත් පිටත් කර හැරීම සඳහා තවත් 180 දෙනෙකුගෙන් සමන්විත යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් සූදානමින් සිටින බවයි සඳහන් වන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සහන සේවා සඳහා මෙරටින් පිටත්ව යන මෙම ගුවන් යානාවලින් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව දඹදිව වන්දනා චාරිකා සංවිධාන කරන ආයතන කිහිපයකින් විමසීමක් කළා. එහිදී එක් සංචාරක ආයතනයක සංවිධායකවරයෙකු වන තුෂාර රාජපක්ෂ කියා සිටියේ දඹදිව ඇතුළු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සංචාරයේ යෙදෙන ප්‍රදේශවලට මෙම භූ කම්පනයෙන් සිදුව ඇත්තේ අවම හානියක් බවයි.

මේ අතර, වයස අවුරුදු 16 න් පහළ බාලිකා පාපන්දු තරගාවලියකට සහභාගි වීමට නේපාලයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. භූ කම්පනයෙන් පාපන්දු කණ්ඩායමට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ. ඔවුන් මේ වනවිට කත්මන්ඩු නුවර තානාපති කාර්යාලයේ රැදී සිටිනවා.

නේපාලයේ - කත්මණ්ඩු අගනුවර ආසන්නයේ ඊයේ (25)සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව දෙදහසකට  ආසන්නව තිබෙනවා. 4700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, දේපළ හානි රැසක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories