ආධාර රැගත් තවත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් අද නේපාලයට

Monday, 27 April 2015 - 8:40

%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා වෛද්‍යාධාර රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තවත් ගුවන් යානයක් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කිලෝග්‍රෑම් 4000ක බරින් යුතු බෙහෙත් ද්‍රව්‍ය, ආහාර සහ පානීය ජලය මෙම ගුවන් යානයෙන් රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම යුද හමුදාවේ නිලධාරියෙකු සහ සාමාජිකයන් 15 දෙනෙකු, නාවික හමුදාවේ නිලධාරියෙකු සහ සාමාජිකයන් 13 දෙනෙකු ද ගුවන් හමුදාවේ නිලධාරියෙකු සහ සාමාජිකයන් 10 දෙනෙකු සහන සේවා කටයුතු සදහා අද පිටත්ව යනු ඇති. එහි පළමු කණ්ඩායම ලෙස හමුදා නිලධාරීන් 44 දෙනෙකු සහ විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙකු රැගත් ගුවන් හමුදාවේ සී 130 වර්ගයේ යානාවක් ඊයේ උදෑසන කත්මන්ඩු නුවරට ළඟාවුණා.

මේ අතර, නේපාලයේ ඇති වී තිබෙන භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ කාර්යාංශයක් ද පිහිටුවා ඇති බවයි එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් කත්මන්ඩු අගනුවර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.  

එමෙන්ම නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන අදාල ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

භූ කම්පනයෙන් පසු නේපාල රජය මේ වනවිට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. කත්මන්ඩු අගනුවර පිහිටි ඓතිහාසික ධාරාහාරා කුළුණද භූකම්පනයෙන් විනාශ වුණා. මේ අතර, කත්මන්ඩු අගනුවර සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න කියා සිටියේ භූ කම්පනයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙටත් හානි සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

කෙසේ වෙතත් හදිසි අවස්ථාවක ඇමතීමට සහ තොරතුරු දැනුම්දීමට තානාපති කාර්යාලයේ 00 97 79 85 10 200 57 දුරකථන අංකය පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන ඇති බව තානාපතිවරයා කියා සිටියා.

භූ කම්පනයත් සමග ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නේපාල ජනාධිපති රාම් බරන් යාදෙව් සමග ඊයේ උදෑසන දුරකථන සංකච්ඡාවක් පැවැත්වුවා. මරදාන ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේ මෙම අවාසනාවන්ත අවස්ථාවේ ශ්‍රී ලංකාව, නේපාලය සමඟ එක්ව සිටින අතර හැකි සෑම සහයෝගයක්ම නේපාලයට ලබාදෙන බවයි.

නේපාලයට වැඩිවශයෙන් වෛද්‍ය සහ සහන සේවාවන් අවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති වෛද්‍යවරුන් හෙදියන් සහ සහයකයන් වෙතොත්  071 24 92 484 දුරකථන අංකයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අමතන ලෙසටද නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories