කිසිදු රටක මානව හිමිකම් පරිපූර්ණ නැහැ

Sunday, 03 May 2015 - 7:45

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රි ලංකාව සමඟ සබඳතා අලූත් කරගැනීමට ඇමරිකාවට අවශ්‍යවී ඇති බව ඊයේ (02) දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා. එමෙන්ම මෙරට යුද්ධයේදී සිදුව ඇතැයි කියන හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පරීක්ෂණයක් සඳහා ජගත් සංවිධානය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ඔහු ලක් රජයෙන් ඉල්ලා සිටියා. ඇමරිකාව සහ ශ්‍රි ලංකාව අතර වාර්ෂික - ද්විපාර්ශවික සංවාදය යළි ආරම්භ කිරීමටත්, ආර්ථික වර්ධනය, වෙළඳාම් සහ ආයෝජනය පිළිබඳ ඇමරිකානු විශේෂඥයන් කඩිනමින් මෙහෙයවීමටත් පියවර ගන්නා බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ.

දශක තුනකට වැඩි කාලයක් පැවති යුද්ධයේ තුවාල සුවපත් කිරීම සඳහා සංහිඳියා ක්‍රියාවලිය අත්‍යාවශ්‍ය වනවා. තවදුරටත් රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමද ඒ සඳහා වැදගත් වන කරුණක්. අතුරුදන්වූවන් පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගත යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාව අද පසුවන්නේ කේන්ද්‍රීය ස්ථානයකයි. සාමය උදාවී තිබෙනවා. එහෙත් සංහිඳියාවට  යම් කලක් ගතවේවි. එහිදී තාක්ෂණික සහය ඇතුළු ශ්‍රී ලංකාවට සහය විය හැකි  ඕනෑම ආකාරයකින් සහය වීමට ඇමරිකාව සූදානම්. ලොව කිසිදු රටක සියයට සීයක් සම්පූර්ණ මානව හිමිකම් වාර්තාවක් ඇත්තේ නැහැ. ඇමරිකාවේ වුවද පවතින්නේ එවැනි තත්ත්වයක්. මානව හිිමිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙන්ම මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය සඳහාද ඇමරිකාවේ සහය හිමිවන බව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කිසිදු රටක් සමඟ පක්ෂපාත වන ලෙස හෝ කිසියම් රටක් සමඟ සබඳතා ප්‍රතික්ෂේප කරන ලෙස ඇමරිකාව, ශ්‍රී ලංකාවෙන් ඉල්ලා නොසිටින බවද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවධාරණය කළා. එමෙන්ම මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමටද ඇමරිකාව අදහස් කරන්නේ නැහැ. මහා භූ කම්පනයකින් විපතට පත් නේපාලයට කඩිනමින් සහන සැළසීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර ප්‍රශංසනීයයි. ලෝක ප්‍රජාවේ පාර්ශවකරුවන් වීම සඳහා ශ්‍රී ලංකාවේ වගකීම් සමුදාය එමඟින් පිළිබිඹු වන බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටියා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (02) පෙරවරුවේ ඇමරිකාවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් දිවයිනට ළඟා වුණේ 35 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමගයි. එහිදී ඔවුන් පිළිගත්තේ ද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර විසින්.

විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා මුණ ගැසුණා. එමෙන්ම රාජ්‍ය ලේකම්වරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අරලියගහ මන්දිරයේදී ඊයේ දහවල් මුණ ගැසුණා. එහිදී ද්වීපාර්ශවික සාකච්ඡා  ද සිදුවූ අතර, ඔහු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ පස්වරුවේ කැළණිය රජමහා විහාරස්ථානය ද වැඳපුදා ගත් අතර, විහාරාධිපති හිමියන් සමගද සුහද පිළිසඳරක නිරතවුණා. 



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories