Update: කථානායක නිල නිවසේදී ශිරන්ති රාජපක්ෂගෙන් පැය දෙකහමාරක් ප්‍රශ්න කරයි

Monday, 01 June 2015 - 8:19

Update%3A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (01) පෙරවරුවේ පැය දෙකහමාරක් ප්‍රශ්න කර තිබෙනවා. ඒ, කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේදීයි. හිටපු ජනාධිපති ආර්යාවගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමක සිදු වූ බව පැවසෙන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇයට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ අදහසකට අනුව ආරම්භ වූ සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානය සිය මූල්‍ය ගණුදෙනු සිදුකරනු ලැබුවේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විවෘත කළ ගිණුමකින්. එම ගිණුමේ සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කළ අතර,  එහි එක් අදියරක් ලෙසයි අද ශිරන්ති රාජපක්ෂට එම කොට්ඨාශය වෙත කැදවා තිබුණේ.

ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මාධ්‍යවේදීන් අද උදෑසන සිට එම ස්ථානයේ රැදී සිටියත් ඇය එම ස්ථානයට පැමිණියේ නැහැ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපිට පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් හිටපු ජනාධිපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා වෙනත් ස්ථානයකදී ප්‍රකාශයක් ලබා ගත් බවයි.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති ආර්යාවගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගත් බව ඇයගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී අනෝමා වැලිවිට තහවුරු කළා.

මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ඇති සිරිලිය සවිය ගිණුමේ මුදල් ලබා ගැනීමේ බලය පවරා ඇත්තේ එස්. රාජපක්ෂ, ඒ.එම්.ජේ.ඒ. කුමාරි සහ කේ.කේ. දිසානායක යන අයටයි. ඔවුන්ගේ ලිපින වශයෙන් සටහන් කර ඇත්තේ කාල්ටන් බංගලාව, තංගල්ල යනුවෙන් බව ද පුවත්පතක් වාර්තා කර තිබුණා. එස්. රාජපක්ෂගේ ජාතික හැදුනුම්පත් අංකය දෙකේ ඉලක්කම් 9කින් සමන්විත අතර, ඒ.එම්.ජේ.ඒ. කුමාරිගේ ජාතික හැදුනුම්පත් අංකය එකේ ඉලක්කම් 9කින්  සමන්විත බවයි එම වාර්තාවල තවදුරටත් දැක්වුණේ.

සිරිලිය සවිය ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 43.8ක්. මෙම සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ 111201 යන අංකයෙන්. සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයේ දුරකථන අංකය ලෙස    011 4 733 200 ලෙස සදහන් කර තිබෙනවා. අප මෙම දුරකථන අංකය සිරිලිය සවිය ආයතනයේ දුරකථන අංකය දැයි දැන ගැනීමට ඊට ඇමතුමක් ලබාදුන් අතර, ඇමතුමට පිළිතුරු දුන් තැනැත්තිය කියා සිටියේ මෙම අංකය ජනාධිපති මන්දිරයේ බවයි.

මේ අතර, අදාළ තුන්දෙනාගේ නම් සහ ලිපිනයන් නිවැරදිව සදහන් වුවත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැදුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී කිසියම් අතපසුවීමක් සිදුව ඇතැයි පෙනී යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. සිරිලිය සවිය සංවිධානය වෙනුවෙන් චෙක්පත් අත්සන් කළේ ව්‍යාජ පුද්ගලයන් නොව තවමත් එම සංවිධානයේ සේවය කරන සැබෑ පුද්ගලයින් තුන්දෙනෙකු බව එහි වැඩිදුරටත් සදහන්.



Update: Monday, 01 June 2015 - 07:45 PM
.........................................................................................

ශිරන්ති රාජපක්ෂ කථානායක නිල නිවසේදී  FCIDයට ප්‍රකාශයක් දෙයි

කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවස වෙත ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඇයගේ මාධ්‍ය ප්‍රකාශිකාව වන අනෝමා වැලිවිට හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් පැයක කාලයක් ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කර ඇති බවයි. සිරිලිය සවිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහා ශිරන්ති රාජපක්ෂව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද කැඳවා තිබුණා. අද පෙරවරුවේ ඇය එම ස්ථානයට පැමිණෙන විටත් මාධ්‍යවේදීන් ඇතුලූ විශාල පිරිසක් එම ස්ථානයේ සිටි බවත්, මේ හේතුවෙන් එම ඒකකයේ නිලධාරින් කථානායක නිල නිවසට පැමිණෙන ලෙසට ශිරන්ති රාජපක්ෂ දැනුම්දී තිබූ බවත් ඇයගේ මාධ්‍ය ප්‍රකාශිකාව තවදුරටත් සඳහන් කළා.

Update: Monday, 01 June 2015 - 11:19
.........................................................................................

ශිරන්ති රාජපක්ෂගෙන් FCID යට ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිරිලිය සවිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහා ඇය කැදවා ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන්. ඒ සඳහා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගොස් ඇති ගිණුම සැකයට භාජනය වී ඇතැයි සති අන්ත පුවත්පතක් පසුගිය පෙබරවාරි 8 වනදා වාර්තා කර තිබුණා.

Update: Monday, 01 June 2015 - 8:19
.........................................................................................

ශිරන්ති රාජපක්ෂ අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (01) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිරිලිය සවිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන විමර්ශනයක් සඳහා, ඇය කැදවා ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, සිරිලිය සවිය පවත්වාගෙන ගොස් ඇත්තේ සිය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන්. ඒ සඳහා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගොස් ඇති ගිණුම සැකයට භාජනය වී ඇතැයි සති අන්ත පුවත්පතක් පසුගිය පෙබරවාරි 8 වනදා වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තංගල්ල නගරයේ ඊයේ විරෝධතාවක් ද පැවැත්වුණා. ඊට හම්බන්තොට නගරයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙන්ම ජනතාව ද එක්ව සිටියා.  

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්මන් වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අනුරාධපුර නගරයේ ඊයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ‘‘අපි පුරවැසි බලය’’ නම් සංවිධානයක් විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories