Update: ගෝඨා අත්අඩංගුවට ගත නොහැක්කේ කුමකට ද ? - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි කිරීමක්

Monday, 08 June 2015 - 13:02

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF+%3F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දැනුම් දුන්නා. ඒ, නීතිපතිවරයා ගොනු කර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින්. ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී තවදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ සිය මූලික අයිතිවාසිකම් පෙත්සමේ සදහන් කර ඇති කරුණු 4 හැරෙන්නට අනෙක් කරුණු සඳහා මෙම වගඋත්තරකරුවන් තුන්දෙනා හැර වෙනත් ආයතනවලට මෙම තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ නැති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. මිහින්ලංකා සමාගමට ගුවන් යානා මිලදී ගැනීම, ගුවන් හමුදාවට ප්‍රහාරක යානා මිලදී ගැනීම, ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සහ ලංකා හොස්පිටල් හි කොටස් මිලදී ගැනීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා. අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩල සාමාජිකයන් ඇතුළු 45 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මෙම පෙත්සම පසුගිය දා සලකා බැලූ ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කර අවසන් වන තුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, මෙම තහනම් නියෝගය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා නීතිපතිවරයා තැපැල් මගින් මෝසමක් යොමු කර තිබුණා. ඒ, ප්‍රධාන කරුණු 5ක් යටතේයි. මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන් පමණක් ද යන්න පිළිබඳව නීතිපතිවරයා සිය මෝසමෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි එක් කරුණක්. ඊට අමතරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර අවසන් කිරීමට වසර 3ක් පමණ ගත වන බැවින් එතෙක් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමක් කළ නොහැකි ද යන්න පිළිබද මෙහිදී පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලය තුළ මිනී මැරීමක් වැනි අපරාධයක් කළහොත් අත්අඩංගුවට ගැනීමක් කළ හැකි ද යන්න පිළිබදව නීතිපතිවරයාගේ මෝසමෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා. අදාළ පැහැදිලි කිරීම සිදුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ කියා සිටියේ මෙම මූලික අයිතිවාසිමක් පෙත්සමේ දක්වා ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරුන්ට තහනම් නියෝගය බලපැවැත්වෙන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිවරයාගේ මෝසමට කරුණු පැහැදිලි කිරීමට පෙර අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර කියා සිටියේ තමාගේ 34 වසරක සේවා කාලයේ පළමු වතාවට මෙවැනි පැහැදිලි කිරීමක් ඉල්ලීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි. විනිසුරු වෘත්තීය තමන්ගේ රැකියාව බවත් කිසිදු නඩු කටයුත්තක් විශේෂ කොට නොසලකන බවත් ඇය මෙහිදී කියා සිටියා.

මේ අතර, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමාට ජුනි 12 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා හේතු කිසිවක් තමා වෙත දන්වා නොමැති බවයි.



Update: Monday, 08 June 2015 - 19:17
--------------------------------------------
ගෝඨාභයගේ පෙත්සම අද පස්වරු 2.30ට

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2 යි 30 ට විභාගයට ගැනීමට නියමිතයි. ඒ, නීතිපතිවරයා ගොනු කළ මෝසමක් හේතුවෙන්. හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි පසුගියදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.  එය සළකා බැලූ ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නියෝග කළේ නඩුව විභාග කර අවසන් වනතුරු හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගන්නා ලෙසයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා නිකුත් කළ මෙම නියෝගය කුමන නීතිමය තත්ත්වයක් මත සිදුකළේද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස නීතිපතිවරයා ගොනු කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනෙන්නේද ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories