බරපතල මූල්‍ය අපරාධ පැමිණිලි 215ක්

Wednesday, 17 June 2015 - 8:20

%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+215%E0%B6%9A%E0%B7%8A
ගත වූ මාස 4ක කාලය තුළ විවිධාකාරයේ දූෂණ වංචා සහ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි 215ක් ඉදිරිපත් වී ඇති බව දූෂණ මර්දන කමිටු කාර්යාලය පවසනවා. ඉන් පැමිණිලි 137ක් අධ්‍යයනය කොට විමර්ශනයන් සඳහා අදාළ ආයතන වෙත යොමු කර ඇති බවයි එම කමිටු කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව පොලිස්පතිවරයා වෙත පැමිණිලි 7ක්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිලි 95ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 11ක්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි 25ක් සහ පොලිස් නීති කොට්ඨාශය වෙත එක් පැමිණිල්ලක් යොමු කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රජයේ ආයතන, දේශපාලන පක්ෂ සහ අනෙකුත් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ මහජනතාව වෙතින් මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති බව සදහන්. මීට අමතරව වෙනත් කිසිදු මාර්ගයකින් පැමිණිලි ඉදිරිපත් වී නොමැති බව දූෂණ මර්දන කමිටු කාර්යාලය අවධාරණය කරනවා.

පසුගිය පෙබරවාරි මස 19 වන දා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් දූෂණ මර්දන කමිටු කාර්යාලය පිහිට වූ අතර එහි සේවය සදහා තෝරාගෙන ඇත්තේ රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ පළපුරුදු නිලධාරීන් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. බරපතල මූල්‍ය අපරාධ හා දූෂණ පිළිබදව පැකිළීමකින් තොරව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දූෂණ මර්දන කමිටු කාර්යාලය වැඩිදුරටත් ඉල්ලීමක් කරනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories