නව සීමා නිර්ණ අනුව නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට අලූතෙන් සභිකයන් 595 ක්

Friday, 19 June 2015 - 18:58

%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+595+%E0%B6%9A%E0%B7%8A
නව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව සිදුකළ සීමා නිර්ණ කටයුතුවලදී දිවයින පුරා පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 595 කින් වැඩි වී තිබෙනවා. සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අනුව කොට්ඨාශ ක්‍රමය යටතේ තේරී පත්වන මුළු සභික සංඛ්‍යාව 5081 ක්. පෙර පැවැති ඡන්ද ක්‍රමයට අනුව සභිකයින් තේරී පත්වන්නේ 4486 ක් පමණයි. එමෙන්ම සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අනුව පළාත් පාලන ආයතනවල මුළු කොට්ඨාශ සංඛ්‍යාව 4819 ක් ලෙස නිර්දේශ කර තිබෙනවා.

2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත මගින් පළාත් පාලනය සඳහා කොට්ඨාශ ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හදුන්වා දෙනු ලැබුවා. ඒ සමඟ පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමා නිර්ණ කටයුතු සදහා ජාතික කමිටුවක් සහ දිස්ත්‍රික් සීමා නිර්ණ කමිටුවක් පත් කළ බවයි රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය අමාත්‍යාංශය සදහන් කළේ. මෙම කමිටුව සදහා මහජන නියෝජිතයින්ගෙන් යෝජනා 122 ක් ලැබී තිබූ අතර, ඉන් යෝජනා 56 කට ජාතික කමිටුව අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව විෂය භාර අමාත්‍ය කරු ජයසූරියට අද භාරදෙනු ලැබුවා. මෙම වාර්තාවට අනුව කේවල කොට්ඨාශ 4573 ක් සභික සංඛ්‍යාව දෙදෙනෙකුගෙන් යුතු වූ බහු සභික කොට්ඨාශ 241ක් සහ සභික සංඛ්‍යාව තුන්දෙනෙකුගෙන් සමන්විත බහු සභික කොට්ඨාශ 9ක් ද නිර්දේශ කර තිබෙනවා.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 ක් සදහා නව සීමා නිර්ණයට අනුව සමස්ත සභිකයින් 329 ක් තේරී පත්වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සඳහා තෝරා ගැනෙන සභික සංඛ්‍යාව 417 ක්. කළුතර දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රීවරුන් 277 ක් පත්වීමට නියමිතයි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22 සදහා නිර්දේශිත සභික සංඛ්‍යාව 377ක්. මාතලේ දිස්ත්‍රික්කයේ නව කොට්ඨාශ බෙදීමට අනුව සභිකයින් 168 දෙනෙකු තෝරා ගැනෙන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට සභිකයින් 186ක් තේරී පත්වීමට නියමිතයි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට සභිකයින් 272ක්, මාතර දිස්ත්‍රික්කයට සභිකයින් 220ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට සභිකයින් 160ක් නව සීමා නිර්ණය කමිටුවේ වාර්තාවට අනුව තේරී පත්වනවා.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පළාත් පාලන සභිකයින් 237ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සභිකයින් 40ක්, මන්නාරමට සභිකයන් 46ක්, වව්නියාවට සභිකයින් 63ක් සහ මුලිතිව් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4 සදහා සභිකයින් 41 දෙනෙකු නව කමිටුවේ වාර්තාවට අනුව තේරී පත්වනු ඇති.

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය සදහා තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 146ක්. පළාත් පාලන ආයතන 20කින් සමන්විත අම්පාර දිස්ත්‍රික්කයට තේරී පත්වන මුළු මන්ත්‍රී සංඛ්‍යාව 221ක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 සදහා සභිකයින් 136ක් නව ක්‍රමය යටතේ යෝජනා වී තිබෙනවා.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 සදහා සභිකයින් 564ක් තෝරා ගැනීමට නියමිත අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 සදහා තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව 186ක්. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා සභිකයින් 222ක් තෝරා පත් කර ගැනෙනු ඇති. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 7 සදහා තෝරා පත් කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාව 92ක්. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 360 ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් 121 ක් නව ක්‍රමය යටතේ තෝරා ගැනෙනවා.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 සඳහා මන්ත්‍රීවරුන් 234 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09 සඳහා සභිකයින් 216 ක් තෝරා ගැනීමට නියමිතයි.

මේ අතර, පළාත් පාලන ආයතන නියෝජිතයන් සඳහා නව ආචාර ධර්ම පද්ධතියක්ද හඳුන්වාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ වාර්තාව භාරදීමෙන් පසුව අදහස් දැක්වූ විෂය භාර අමාත්‍ය කරූ ජයසූරිය කියා සිටියේ මින් ඉදිරියට කඩින් කඩ මැතිවරණ නොපවත්වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories