3060ක හිගයට තිස්සගේ නිවස සහ ඉඩම පවරා ගැනීමට රතු නිවේදනයක්

Thursday, 25 June 2015 - 13:12

3060%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ නගර සීමාවේ පිහිටි තම දේපළ පවරාගැනීමෙන් වළකින ලෙස දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස අත්තනායක කොළඹ නගරාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ කොළඹ නගර සභාවට අයවිය යුතු වරිපනම් මුදල් හිඟයකින් තොරව තමන් නිසි පරිදි ගෙවා දමා ඇති බවයි.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පදිංචිව සිටින කොළඹ - බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මේ වසර සඳහා අයවිය යුතු වරිපනම් බදු මුදල් ගෙවා නොමැති බව සඳහන් කරමින් කොළඹ නගර සභාව පෙරේදා දිනයේ මන්ත්‍රීවරයා වෙත රතු නිවේදනයක් යොමු කර තිබුණා. එමඟින් දන්වා තිබුණේ මේ වසරට අයවිය යුතු රුපියල් 3060 ක වරිපනම් බදු මුදල් නොගෙවීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ අදාළ නිවස සහ ඉඩම නගර සභාවට පවරා ගැනීමට සිදුවන බවටයි.

එහෙත් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස අත්තනායක සඳහන් කළේ තමන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මේ වසරට අදාළ වරිපනම් බදු මුදල් ගෙවා ඇති බවයි.

යම් හෙයකින් හිඟ මුදලක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැන්වීම මිස දේපළ පවරාගැනීමක් සම්බන්ධයෙන් දැනුම්දීම අනුමත කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

නගර සභාව විසින් දන්වන ලද දේපළ පවරාගැනීම සම්බන්ධයෙන් වන  කරුණ නිවැරදි කරන ලෙස දන්වමින් නීතීඥයෙකු මාර්ගයෙන් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා නගරාධිපතිවරයා වෙත අද (25) ලිපියක් ද යොමු කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ වරිපනම් නොගෙවූ පුද්ගලයන්ට රතු නිවේදන යොමු කිරීම පරිගණකය ඔස්සේ සිදුවන ස්වයංක්‍රීය ක්‍රියාවලියක් බවයි. අදාළ කරුණ පිළිබඳ තමා දැනුවත් නොමැති බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories