වෙඩි නොවදින රථයට මුදලක් ගෙවන්න අගමැති සූදානම්

Friday, 03 July 2015 - 7:52

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
තමා විසින් භාවිත කරන වෙඩි නොවදින රථය මැතිවරණ සමයේ පරිහරණයේදී කිසියම් මුදලක් රජය වෙත ගෙවිය යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ අදාළ යෝජනාව ප්‍රශංසනීය බවයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (02) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත්තේ අදාළ වෙඩි නොවදින රථය පරිහරණය සඳහා කිසියම් මුදලක් තීරණය කරන ලෙස මුදල් අමාත්‍යාංශයට සහ විගණකාධිපතිවරයා වෙත දැනුම්දීමටයි.

මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යෝජනා කර ඇත්තේ මැතිවරණ සමයේ අමාත්‍යවරුන් පරිහරණය කරන රජයේ වාහන සඳහා ද මුදලක් අය කිරීම සුදුසු බවයි. ඒ අනුව ඒ සඳහා ද නියමිත මුදලක් අය කිරීමට තීරණය කෙරුණා.

එමෙන්ම, තර්ජනයක් පවතින බවට බුද්ධි අංශ මගින් නිර්දේශ ඉදිරිපත් නොකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අනෙකුත් අමාත්‍යවරුන්ගේ ද ආරක්ෂාව සඳහා යොදවන පොලිස් භටයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ද තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ මහමැතිවරණය මෙන්ම උසස් පෙළ විභාග ද එක කාලයකදී යෙදී ඇති බැවින් විශාල පොලිස් භට පිරිසක් එම රාජකාරි සඳහා අවශ්‍ය වන බවයි.

මේ අතර, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අදින් ආරම්භ වනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ  අයදුම්පත් භාර ගැනීම මේ මස 14 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories