Update: ‘‘අනාගතයට සහතිකයක්’ - සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය #GenElecSL

Tuesday, 28 July 2015 - 13:15

Update%3A+%E2%80%98%E2%80%98%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%99+-+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%23GenElecSL
'අනාගතයට සහතිකයක්' තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය කොළඹ දී අද (28) එළිදැක්වුණා. ඒ අදීන ජාතියක්, නවීන දේශයක්, සුහද සමාජයක් සඳහා වූ දොලොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ලෙසයි.

ජාතික ඒකග්‍රතාව සහ තිරසාර සංහිඳියාව, දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍ය සුරැකීම, ආර්ථික කළමනාකරණය මෙන්ම විදේශ, නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය ප්‍රතිපත්තියද මීට අයත්. පාරිසරික සහ වනජීවි, සංස්කෘතික - කලා සහ සන්නිවේදන කටයුතු ප්‍රවර්ධන, ක්‍රීඩා සහ තරුණ කටයුතු, කාන්තා සහ ළමා, අයෝජන සහ යටිතල පහසුකම් ප්‍රවර්ධන එහි අන්තර්ගත අනෙක් ප්‍රතිපත්තීන් වනවා.

13 වන සංශෝධනයට ඔබ්බට නොයන පරිදි, ඒකීය රටක් තුළ සියලූ ජාතීන්ගේ අයිතීන් තහවුරු කෙරෙන සාධාරණ දේශපාලන විසඳුමක් මාස 06 ක් තුළ යෝජනා කරන බව මෙම මැතිවරණ ප්‍රකාශනයේ සඳහන්.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසන් වාර්තාවේ නිර්දේශද වසරක් තුළ ක්‍රියාත්මක කෙරෙනවා. දේශපාලන පළිගැනීම් සඳහා පවතින නීතියෙන් පරිබාහිරව ආයතන පිහිටු වූ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකරණයට පවරන බවත්, බැඳුම්කර සිද්ධිය කඩිනමින් පරීක්ෂාවට ලක්කරන බවත් එහි සඳහන්. රාජ්‍ය ආයතන ඉහළ තනතුරු දරන්නන් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුයි.

මාස 06 ක් තුළ රාජ්‍ය අංශයේ රැකියා 60,000 ක් ඇතුළු නව රැකියා ලක්ෂ 15 ක් ජනිත කෙරෙන අතර, 2020 වනවිට මෙරට දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කෙරෙනවා.

පොහොර සහනාධාරයද ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති. වී කිලෝවක් සඳහා රුපියල් 50 ක, තේ දලූ කිලෝවක් සඳහා රුපියල් 90 ක, රබර් සඳහා රුපියල් 300 ක, කිරි ලීටරයක් සඳහා රුපියල් 70 ක සහතික මිලක් ලබාදීමටත් මෙමඟින් එකඟ වී තිබෙනවා.

ත්‍රිරෝද රථ අමතර කොටස් සියලූ බදුවලින් නිදහස් කෙරෙන බවයි සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙන්නේ.

විශේෂ වට්ටම් ප්‍රතිලාභ ලැබෙන සමෘද්ධි කාඞ්පතක් හඳුන්වාදෙන අතර, සෑම සමෘද්ධි පවුලකටම ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් පාරිභෝජනයට මාසිකව රුපියල් 350 ක් ලබාදෙනු ඇති.

රාජ්‍ය සේවකයන්ගේ විශේෂ දීමනා මූලික පඩියට එකතු කෙරෙන අතර, අවම මූලික වැටුප 25,000 ක්.

 ජීවන වියදම් දීමනාවද දසදහස දක්වා ඉහළ දැමෙනවා.

පුද්ගලික අංශයේ අවම මූලික වැටුප රුපියල් 3000 කින් වැඩි කිරීමට යෝජිතයි. වතු කම්කරුවන් සඳහා දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමෙනු ඇති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සාධාරණ මට්ටමින් පහත හෙළන අතර, හයිබ්‍රිඞ් ඇතුළු වාහන ආනයනයේදී පැනවූ අසාධාරණ බදු අහෝසි කෙරෙනවා.

 ප්‍රාදේශීය මට්ටමින් ජල ගාස්තුව 50% කින්ද, නගරවල ජල ගාස්තුව 25% කින්ද අඩු කෙරෙනු ඇති. නිවාස අහිමි රණවිරුවන්ට නිවසක් ලබාදෙන බවත් එහි සඳහන්.

සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය වන අතර, අවුරුදු 18 සිට 25 දක්වා තරුණ තරුණියන්ට රුපියල් 50,000 ක ප්‍රදානයක් ලබාදෙනවා. පෙරපාසල් ගුරුවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන බවද එහි සඳහන්. මහපොළ ශිෂ්‍යත්ව දීමනාවත් 6000 දක්වා වැඩි කෙරෙනවා.

අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ වන තරුණ තරුණියන්ට රුපියල් ලක්ෂ දෙකක පොළී රහිත සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර, සෑම නිවසකට බ්‍රෝඩ්බෑන්ඞ් පහසුකම හිමි වනවා.

ත්‍රිවිධ හමුදා සහ පොලිස් පවුල්වල තුන්වන දරුවා වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂය, ලක්ෂ දෙක දක්වා ඉහළ දැමෙනු ඇති.

බෙදුම්වාදී ත්‍රස්තවාදය මෙන්ම 87 - 89 කාලයේ සිද්ධීන් නිසා පියා අහිමිවීම සහ ජීවනෝපාය අහිමිවීම වෙනුවෙන් එම පවුලකට මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙනවා.  

දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක්ද අනාගතයට සහතිකයක් යන සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගතයි.

විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමද ඊට අයත්.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කෙරෙන අතර, තොරතුරු පනත සහ විගණන පනතද බලාත්මක කෙරෙනවා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සන්ධානයේ සභාපති  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඔහුගේ නිල නිවසේදී අද පෙරවරුවේ පිළිගන්වනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා ජයවේවා යැයි ප්‍රකාශ කරමින් එම අවස්ථාවට එක්වු සන්ධාන නායකයින් වෙත කිරිබතින් සංග්‍රහ කළ බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වූ අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහභාගි වී සිටියේ නැහැ. ඒ, බදුල්ලේ පැවති අත්‍යවශ්‍ය රැස්වීම් කිහිපයක් හේතුවෙන් බවයි ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ රට ශක්තිමත් කළ හැකි පිරිසක් සන්ධානය සමඟ සිටින බවයි.



Update : Tuesday, 28 July 2015 - 18:42
-----------------------------------------------------------
අනාගතයට සහතිකයක් - සන්ධානයේ දොළොස් වැදැරුම් මැතිවරණ ප්‍රකාශය එළි දකී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28) එළි දැක්වුණා. ඒ, කොළඹ හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදියි. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධානයේ පක්ෂ නියෝජිතයින් එක්ව සිටියා.

අදීන ජාතියක්, නවීන දේශයක් සහ සුහද සමාජයක් සඳහා වූ අනාගතයට සහතිකයක් නමින් නිදහස් සන්ධානයේ දොළොස් වැදැරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින් වෙත ප්‍රථමයෙන් පිළිගන්වනු ලැබුවා. ඉන් අනතුරුවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට සහ සන්ධානයේ සෙසු පක්ෂවල නායකයින් වෙත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වුණේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද අද උදෑසන පිළිගන්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති නිළ නිවසට ගොස් මෙම මැතිවරණ ප්‍රකාශය පිළිගැන්වූ බවයි.

අද එළි දුටු නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රකාශයට ජාතික ඒකාග්‍රතාවය සහ තිරසාර සංහිඳියාව පිළිබද ප්‍රතිපත්තිය, දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍ය සුරැකීම පිළිබඳ ප්‍රතිපත්තිය මුලින්ම ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය සඳහා ප්‍රතිපත්තියක් ද අද එළිදැක්වුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්. මීට අමතරව නොබැදි විදේශ ප්‍රතිපත්තියක් ද මෙහිදී හඳුන්වා දී ඇති අතර, සැමට නිවසක් යන තේමාව යටතේ නිවාස ප්‍රතිපත්තියක් අද එළිදැක්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රතිපත්ති මාලාවට ඇතුළත්.

එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම පාරිසරික හා වනජීවි අංශ නියෝජනය කරමින් ද නව ප්‍රතිපත්ති මාලාවක් එමගින් හඳුන්වා දී තිබෙනවා. සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප්‍රවර්ධන කිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් ද ඊට ඇතුළත්. නිරෝගී සහ ක්‍රියාශිලී පරපුරක් බිහි කිරීම සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳව ද ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇති අතර, කාන්තා, ළමා සහ ආයෝජන මෙන්ම යටිතල පහසුකම් ප්‍රවර්ධන කිරීම ඇතුළු කරුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය අද එළිදැක්වුණු ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories