Update: ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි #GenElecSL

Thursday, 30 July 2015 - 9:43

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92++%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
මැතිවරණ දිනය ලංවත්ම ආණ්ඩුවේ අමාත්‍යධුර දරන නිදහස් පක්ෂයේ ඇමතිවරුන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න  තව තවත් උග්‍රවෙමින් පවතිනවා.

කුරුණෑගල සන්ධාන අපේක්ෂක ශාන්ත බණ්ඩාර ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් අද (30) ඉල්ලා අස්වීම එහි තවත් අවස්ථාවක්.

ධුරයෙන් ඉවත් වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස ඉල්ලා සිටියද එය සිදු නොවූ නිසා තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි කුරුණෑගල අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කියා සිටියේ.



 මේ අතර පිරිසක් තමන්ට හූ කීමට සූදානමින් සිටින නිසා ලබන මස 03 වැනිදා කළුතරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට සහභාගි නොවීමට තීරණය කළ බව නිදහස් පක්ෂය නියෝජනය කරන මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ලිපි මඟින් තමන්ට එවැනි තර්ජනයක් සිදු කර ඇති බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

 පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවති රැස්වීමකදී සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර  ඒකනායක මෙවැනිම අපහසුතාවක් ප්‍රායෝගිකම අත්වින්දා. වේදිකාවේ කතා කරමින් සිටියදී රැළියට එක්ව සිටි පිරිසක් ඔහුට හූ කිව් අතර අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේම නිදහස් සන්ධාන අපේක්ෂකයන් දෙදෙනෙකු ඊට සම්බන්ධ බවයි.

අමාත්‍ය මණ්ඩලය තුල නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු කටයුතු කළා.

 අද ධුරයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයාද සමඟ නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මේ වනවිට ධුර වලින් ඉල්ලා අස්වී තිබෙනවා.    
 
සී. බී. රත්නායක, ඩිලාන් පෙරේරා, පවිත්‍රා  වන්නිආරච්චි, මහින්ද යාපා අබේවර්ධන, තිස්ස කරලියද්ද, එරික් ප්‍රසන්න වීරවර්ධන, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ සහ ලසන්ත අලගියවන්න එලෙස ඉවත් වූ අමාත්‍යවරුන්.

ශාන්ත බණ්ඩාර අද ධුරයෙන් ඉවත් වීමට පෙර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූණේ පලාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්.

කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමකදී බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories