එජාපය ඉදිරියෙන්

Tuesday, 18 August 2015 - 14:17

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සමස්ත ප්‍රතිඵල නිකුත් කර ඇති දිස්ත්‍රික්ක 13 ක ඒ ඒ දේශපාලන පක්ෂ හිමිකරගෙන ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව ද ප්‍රකාශයට පත් කර අවසන්.

නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 5 ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 ක්. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට මන්ත්‍රී ධුර 6 ක් හිමිවූ අතර  ඒ අනුව මෙවර සන්ධානයට එම දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් අඩුවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය 2010 මහමැතිවරණයේ මාතරින් හිමිකර ගත්තේ මන්ත්‍රී ආසන දෙකක් පමණයි. ඒ අනුව ඔවුන්ට මෙවර එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේදී මන්ත්‍රී ආසන 4 ක් හිමිකර ගත් සන්ධානය 2010 මහමැතිවරණයේදී මන්ත්‍රී ආසන 5 ක් ලබාගෙන තිබුණා. එක්සත් ජාතික පක්ෂයට පසුගිය 2010 මහමැතිවරණයේදී ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 2 ක් හිමිවුණා. මෙවර ද එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ තරඟ කළ ජනතා විමුක්ති පෙරමුණට එවර හම්බන්තොටින් මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර මෙවර මැතිවරණයේදී එක් මන්ත්‍රී ධුරයක් ඔවුන්ට හිමිව තිබෙනවා.  

2010 වසරේ මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 7 ක් හිමිකර ගත් සන්ධානයට මෙවර එය 6 දක්වා අඩුවී තිබුණා. පෙර පැවති මහමැතිවරණයේදී මන්ත්‍රී ධුර දෙකක් පමණක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර ගාල්ලෙන්  මන්ත්‍රී ධුර 4 ක් ලබා ගත්තා.

බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මෙවර හිමිකර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 ක්. එය ඔවුන් 2010 මහමැතිවරණයේදී ලබා ගත් මන්ත්‍රී ධුර 6 ට සාපේක්ෂව මන්ත්‍රී ධුර 3 ක අඩුවීමක්. එක්සත් ජාතික පක්ෂය පසුගිය 2010 මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් හිමිකර ගත්තේ මන්ත්‍රී ආසන 2 ක් පමණයි. මෙවර එය ආසන 5 ක් දක්වා වැඩි කර ගැනීමට එම පක්ෂය සමත්වී තිබෙනවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 3 ක් හිමිකර ගත්තා. පසුගිය 2010 වසරේදී සන්ධානයට මොනරාගලින් මන්ත්‍රී ආසන 4 ක් හිමිවූ අතර ඒ අනුව එක් මන්ත්‍රී ආසනයක් මෙවර අඩුවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය 2010 වසරේ මොනරාගලින් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත් අතර මෙවර මැතිවරණයේදී හිමිකර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙකක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 2010 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර මන්ත්‍රී ධුර 7 ක් හිමිවූ අතර මෙවර හිමිවී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5 ක්. එක්සත් ජාතික පක්ෂය 2010 වසරේදී මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත් අතර, මෙවර එය මන්ත්‍රී ධුර 4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

2010 මහමැතිවරණයේදී පොළොන්නරුවෙන් එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය මෙවර මන්ත්‍රී ධුර 3 ක් ලබාගෙන තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී මන්ත්‍රී ධුර 4 ක් ලබාගත් සන්ධානයට මෙවර හිමිවි ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2 ක්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2010 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 2 ක් හිමිකර ගත් අතර මෙවර මැතිවරණයේදී සන්ධානයට හිමිවී ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1 ක්. එක්සත් ජාතික පක්ෂය පසුගිය මහමැතිවරණයේදී ත්‍රිකුණාමලයෙන් මන්ත්‍රී ආසන 1 ක් හිමිකර ගත් අතර මෙවර මන්ත්‍රී ධුර 2 ක් හිමිකර ගත්තා. දෙමළ ජාතික සන්ධානය ද පසුගිය මහමැතිවරණයේදී හිමිකර ගෙන තිබූ මන්ත්‍රී ධුරය මෙවර ද ආරක්ෂා කර ගැනීමට සමත්වී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ 2010 වර්ෂයේදී දෙමළ ජාතික සන්ධානය ආසන 5 ක් හිමිකර ගත් අතර මෙවර ද මන්ත්‍රී ආසන 5 ක් හිමිකරගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේ මන්ත්‍රී ආසන 3 ක් හිමිකර ගත් අතර මෙවර ඔවුන්ට මන්ත්‍රී ආසනයක් හිමිව නැහැ. එක්සත් ජාතික පක්ෂයට 2010 වසරේ මෙන්ම මෙවර ද යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා. මීට පෙර සන්ධානය සමඟ එක්ව තරඟ කළ ඊ.පී.ඞී.පී පක්ෂයට ද මෙවර මහමැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 ක්. පසුගිය මහමැතිවරණයේදී සන්ධානයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 7 ක් හිමිවූ අතර මෙවර එය එක් මන්ත්‍රී ධුරයකින් අඩුවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේදී හිමිකරගෙන තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 3 ක් පමණයි. මෙවර එය මන්ත්‍රී ආසන 5 ක් දක්වා ආසන දෙකකින් වැඩි කරගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් සන්ධානය මන්ත්‍රී ආසන 5 ක් හිමිකරගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී  සංඛ්‍යාව 4 ක්. මෙවර ජනතා විමුක්ති පෙරමුණට ද කළුතරින් මන්ත්‍රී ආසනයක් හිමිවී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය මහමැතිවරණයේදී සන්ධානයට මන්ත්‍රී ධුර 7 ක් හිමිව තිබූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ මන්ත්‍රී ධුර 2 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ සහය දුන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබුණා.

මාතලේ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 3 ක් මෙවර හිමිවී තිබෙනවා. 2010 මැතිවරණයේදී ඔවුන්ට හිමිවුණේ මන්ත්‍රී ධුර එකක් පමණයි. සන්ධානයට මන්ත්‍රී ආසන 4 ක් එවර හිමිවූ අතර මෙවර එය 2 දක්වා අඩුවී තිබෙනවා.  

නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයට පුත්තලම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 5 ක් හිමිවී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර හිමිවී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 3 ක්. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2 ක්. ඒ අනුව මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුර 3 කින් වැඩි වී තිබෙනවා. සන්ධානයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ධුර 6 ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙවර මන්ත්‍රී ධුර 3 කින් අඩු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories