නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක්

Thursday, 20 August 2015 - 8:48

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A++%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. හිටපු අමාත්‍ය - නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික නන්දිමිත්‍ර  ඒකනායක සඳහන් කළේ අද උදෑසන 9 ට මධ්‍යම කාරක සභාව රැස්වන බවයි. ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

මැතිවරණයෙන් පසු නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන ප්‍රථම අවස්ථාවද මෙය වනවා. අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සන්ධාන ජාතික ලයිස්තුව ඇතුලූ තවත් වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බවයි හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර  ඒකනායක වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර  නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයන් 13 දෙනෙකු ඉවත් කර පසුගියදා ඒ වෙනුවට නව සාමාජිකයන් පත්කළා. පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ මෙම නව පත්කිරීම ඇතුළත් ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයාට ද යොමුකර ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

 නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාමාජිකයන් 51 දෙනෙකුගෙන් සැදුම් ලබන අතර, ඉන් 25 දෙනෙකු නම් කිරීමට පක්ෂයේ සභාපතිවරයාට හැකියාව පවතිනවා. ඒ අනුවයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවේ සිටි සාමාජිකයින් 25 දෙනෙකුගෙන් 13 දෙනෙකු ඉවත් කර ඇත්තේ. මෙසේ ඉවත් කර ඇති සාමාජිකයන් 13 දෙනා වෙනුවෙන් නව පත්කිරීම් සිදුකර ඇති අතර, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගගේ නමද ඊට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව පක්ෂ සභාපතිවරයාට පත්කළ හැකි සෙසු සාමාජිකයන් 12දෙනා වෙනුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. එය පෙරවරු 11 ට පැවැත්වෙන බවයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories