ගීතාගේ ඇත්ත හෙළිවේ

Friday, 28 August 2015 - 18:44

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
මහමැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ද ප්‍රථමයෙන් තමන් ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ පවසනවා. ඊට අදාළව තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ඇය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරියකට ද්විත්ව පුරවැසිභාවය හිමි බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ සඳහන් කළා. ඔහු කියා සිටියේ යම් අයෙකු ඊට අදාළව අධිකරණයට ගියහොත් ඇයට මන්ත්‍රී ධුරය අහිමි විය හැකි බවයි. මෙවර මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර මනාප ලැයිස්තුවේ 7 වන ස්ථානයේ පසුවන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේයි.     

මෑතක දී සම්මත කර ගත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, වෙනත් රටක ද ශ්‍රී ලංකාවේ ද පුරවැසියෙකු වන පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීමට  සුදුස්සෙක් නොවන බව සඳහන් වනවා. මෙම තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහගෙන් විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ තමන්ට තිබූ ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවයි. ඕනෑම අයෙකුට ගැටළුවක් තිබේ නම් අධිකරණයට පැමිණෙන ලෙස ඇය අභියෝග කළා.

මෙවර මහ මැතිවරණයේ නාම යෝජනා භාරදීමෙන් පසු පසුගිය ජුලි 13 වන දා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සන්ධාන අපේක්ෂකයන් වූ මනෝජ් සිරිසේනට සහ ඩලස් අලහප්පෙරුමට ද ද්විත්ව පුරවැසිභාවයට අදාළව විරෝධතා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම චෝදනා ප්‍රතික්ෂේප කළේ තම ගමන් බලපත්‍රය ද ඉදිරිපත් කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories