ගබඩා නැතත් වී කිලෝ හැත්තෑ ලක්ෂයක් අරගෙනලු

Thursday, 03 September 2015 - 8:39

%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D++%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%94
දින තුනක් තුළ පමණක් වී කිලෝග්‍රෑම් 7,034,123 ක් ගොවීන්ගෙන් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති එම්.බී. දිසානායක සඳහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, කිලිනොච්චිය, වවුනියාව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙම වී තොග ගොවීන්ගෙන් මිලදී ගෙන ඇති බවයි. වී මිලදීගැනීම සඳහා රජය රුපියල් මිලියන 6000 ක මුදලක් වෙන් කර ඇති බවද සභාපතිවරයා සඳහන්කළා.

මේ අතර විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්ත ගබඩාවේ වී ගබඩා කිරීම ඊයේ (02) පස්වරුව දක්වා ක්‍රියාත්මක කෙරුණා. අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්‍රී  කාලයේදීත් වී රැගත් ලොරි රථ පැමිණි බවයි.

මත්තල ගුවන්තොටුපලේ භාණ්ඩ පර්යන්ත ගබඩාවේ වී ගබඩා කිරීමේ කටයුතු ඊයේ පෙරවරුවේ ආරම්භ කළත් අතරමග එය නවතා දැමීමට සිදුවුණේ ප්‍රදේශවාසීන් සහ ගුවන්තොටුපලේ සේවකයන් පිරිසක් වී අස්වනු රැගෙන පැමිණි ලොරි රථ මග නවත්වමින් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන්.

මේ නිසා ඊයේ උදෑසන වී තොග රැගෙන මත්තලට පැමිණි ලොරි රථවලින් ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුළුවීමට හැකිවුණේ එක් ලොරියකට පමණයි.  විරෝධතාවට එක්වූවන් සඳහන් කළේ වී ගබඩා කිරීම තුළින් ගුවන් තොටුපලේ උපකරණවලට හානිවිය හැකි බවයි.

පැය 5 කට ආසන්න කාලයක් විරෝධතාව පැවති අතර පසුව පොලිස් නිලධාරින් පැමිණ විරෝධතාකරුවන්ට ඉවත්වන ලෙස දැනුම්දුන්නා.  වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී.දිසානායක ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කිරිම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියද හිමිව ඇති බවයි. වී ගබඩා කිරීමෙන් ගුවන් තොටුපලේ දේපළවලට සහ එහි යන්ත්‍ර සූත්‍රවලට හානියක් සිදු නොවන බවද සභාපතිවරයා අවධාරණය කළා.

මේ අතර ඊයේ දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ එම මධ්‍යස්ථානවල වී මිලදී ගැනීමේ කටයුතු මන්දගාමීව සිදුවන බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories