UPDATE: සතුරා ගැන අඩුවෙන් තක්සේරු කරන්න එපා - ජනපති, ජනපතිත්, මමත් නින්ද යන රියදුරන් නොවේ - අගමැති

Sunday, 06 September 2015 - 8:00

UPDATE%3A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබුවා. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීම ද විශේෂත්වයක්.

සංවත්සර සමුළුව ආරම්භ වූයේ එක්සත් ජාතික පක්ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරූවලට මල්මාල පළඳවා ගෞරව උපහාර දැක්වීමෙන් අනතුරුවයි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරඟ වැදුනු පක්ෂවල නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පී. දිගම්බරම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්සත් ජාතික පක්ෂ සංවත්සර සමුළුවට එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පිරිස පිළි ගැනීමෙන් අනතුරුව  නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් කබීර් හෂීම්, සංවත්සර උළෙල ඇමතුවා.

යහපාලන රටක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදරත්වයේ දෑත් දිගු කරන බවයි සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලනයේදී සතුරා සම්බන්ධයෙන් අඩු තක්සේරු නොකරන ලෙසයි.

69 වන එක්සත් ජාතික සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජනතාව, ජනාධිපතිවරයාට සහ තමන්ට භාර දුන් රට, යහපත් අනාගතයක් සකස් කර යළි ජනතාවට භාර කරන බවයි.  

ජාතික ආණ්ඩුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කරුණු පැහැදිලි කළේ තමන් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද නින්ද නොයන රියදුරන් ලෙස හඳුන්වමින්.




Sunday, 06 September 2015 - 18.42
--------------------------------------------

පාක්ෂිකයන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පවුල්වාදය අවසන් කිරීමට හැකිවුණා - අගමැති  

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) උදෑසන ආරම්භ වුණා. පක්ෂ නායක - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයට  නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගිවීම විශේෂත්වයක්.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරඟ වැදුනු පක්ෂවල නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පී. දිගම්බරම්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් මෙන්ම අතුරලියේ රතන හිමියන් සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක  ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකාද එක්සත් ජාතික පක්ෂ සංවත්සර සමුළුවට එක්ව සිටිනවා.

සංවත්සර සමුළුව ආරම්භ වූයේ එක්සත් ජාතික පක්ෂයේ දිවංගත නායකයන්ගේ පිළිරූවලට මල්මාල පළඳවා ගෞරව උපහාර දැක්වීමෙන් අනතුරුවයි.

එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් කබීර් හෂීම්, සංවත්සර උළෙල ඇමතුවා.

ඉන් අනතුරුවයි පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 69 වන සංවත්සර උළෙල අමතනු ලැබුවේ.  කිසිදා වෙනස්  කළ නොහැකි  බව පැවසූ පවුල්වාදය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් සිදුකළ පාක්ෂිකයන්ට සිය ස්තූතිය පුද කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

සංවත්සර සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අද දිනය මෙරට දේශපාලනයේ ඓතිහාසික අවස්ථාවක් බවයි.

[MP3]s116073[/MP3]



Sunday, 06 September 2015 - 12:18
--------------------------------------------

එක්සත් ජාතික පක්ෂ 69වන සංවත්සර සැමරුම අද- නිදහස් පක්ෂ සභාපති- ජනපතිත් එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වනවා. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයට  නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගිවීම විශේෂත්වයක්.




සියලූ ජාතීන්ට හා විවිධ ජනකොටස්වලට එකට එක්විය හැකි පුළුල් පෙරමුණක අවශ්‍යතාව දැඩිව දැනුණු යුගයක එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ 1946 වසරේ සැප්තැම්බර් 6 වනදායි.

ඊට අදාළ ප්‍රධානතම සාකච්ඡාව කොළඹ ගිල්ප්‍රට් ක්‍රසන්ට් - පාම්කෝට් මන්දිරයේ පැවති අතර එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ මන්ත්‍රිවරුන් වූ ඞී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ඇල්බට් පීරිස්, ටී. බී. ජයා මේ සඳහා පුරෝගාමීව කටයුතු කළා.

සිංහල මහ සභාව, මුස්ලිම් පෙරමුණ සහ ද්‍රවිඩ සංගමය සමග එක්ව එක්සත් ජාතික පක්ෂය ප්‍රථම වරට මැතිවරණයකට ඉදිරිපත් වන්නේ 1947 වසරේදියි. එය ජයග්‍රහණය කළ ඞී.එස්. සේනානායකට අග්‍රාමාත්‍යධුරය මෙන්ම පක්ෂ නායකත්වයද හිමිවනවා.

එවක බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව නිදහස ලබන්නේද එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ 1948 දියි.

මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ අභාවයෙන් පසු 1952 වසරේදී ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායකට අගමැති ධුරය හා පක්ෂ නායකත්වය හිමිවුණා. 1953 හර්තාලය හේතුවෙන් ඩඞ්ලි සේනානායක අග්‍රමාත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වූ අතර, පසුව එහි වගකීම පැවරුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවලටයි.

1956 මහ මැතිවරණයේදී සහ 1960 වසරේදී පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය යළි 1965 දී බලයට පත්වන්නේ ඩඞ්ලි සේනානායකගේ නායකත්ව යටතේයි.

යළි 1970 පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ  එක්සත් ජාතික පක්ෂය ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුව පරදා 6න් 5ක බලයක් සහිතව පාර්ලිමේන්තු බලය ලබා ගන්නවා. ඒ, 1977 වසරේදියි.

දැනට ක්‍රියාත්මක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 වසරේදී  ඔවුන් හඳුන්වා දුන් අතර, විධායක ජනාධිපති ධුරයද බිහි කරනු ලැබුවා.

විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් සිදුකළ ප්‍රතිසංස්කරණ හමුවේ 1983 පැවති මහ මැතිවරණයද එක්සත් ජාතික පක්ෂය ජයගත්තා.
 
1988 වසරේ පැවති මහ මැතිවරණයෙන් මෙන්ම පළමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නවා.

1989 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වන්නේ රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන්.

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව නායකත්වයට පත්වන රණසිංහ ප්‍රේමදාස 1993 මැයි පළමුවනදා මැයි  පෙළපාලියකට සහභාගි වෙමින් සිටියදී  LTTE  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් පසු ජනාධිපතිධුරයට හා පක්ෂ නායකත්වයට ඩී.බී. විජේතුංග පත්වන අතර, අග්‍රා මාත්‍ය ධුරය හිමිවන්නේ රනිල් වික්‍රමසිංහටයි.

1994 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වී පොදුජන එක්සත් පෙරමුණට බලය හිමිවීමෙන් අනතුරුව 2001 වසරේදී යළි මහමැතිවරණයෙන් ජය ලබන අතර රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. 2004 මහ මැතිවරණයෙන් පරාජයට පත්වන ඔවුන් 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී පොදු අපේක්ෂකයෙකුට සහය පළ කළා.

2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයගැනීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය පසුගිය අගෝස්තු 17 වනදා පැවති මහ මැතිවරණය ජයගන්නා අතර, ඔහු සිව්වන වරටත්  අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා.

එසේම නිදහස් පක්ෂය සමඟ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් සඳහා දැන් එක්සත් ජාතික පක්ෂය ගිවිසුම් අත්සන් කර තිබෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්ද රටට හඳුන්වා දෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories