ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් යෝජනා කරයි

Thursday, 10 September 2015 - 15:56

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) පළමු වරට රැස්වුණා. එහිදී ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන්ගේ නම් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යෝජනා කර තිබෙනවා.

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මෙන්ම අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක සහ ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්නද සහභාගි වුණා.

මෙවර ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා මෙතෙක් පත් කර නොමැති අතර, දින සියය ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කළේ අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත්, කොමිෂන් සභා සඳහා කඩිනමින් සාමාජිකයින් පත්කළ යුතු බවත් අද පැවති ව්‍යවස්ථා සභා රැස්වීමේදී කතානායකවරයා අවධාරණය කළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් සහ වෘත්තීය සහ සිවිල් සංවිධානවලින් නාමයෝජනා ලබා ගැනීමටයි.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සාමාජිකයන් ලෙස ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස්ගේ නම් යෝජනා කර තිබෙනවා. ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි දින සියයේ ආණ්ඩුව යටතේ පැවති ව්‍යවස්ථා සභාවටද සිවිල් නියෝජිතයින් ලෙස නම් කර තිබුණා.

ආචාර්ය ඒ.ටී.ආරියරත්න සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වනවා. ආචාර්ය රාධිකා කුමාරස්වාමි ළමා හා අවි ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්ගේ විශේෂ නියෝජිතවරිය ලෙස කටයුතු කළා. ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් මෙරට 37 වන නීතිපතිවරයායී.

මෙම තිදෙනාගේ නම් අනුමැතිය සඳහා සැප්තැම්බර් 22 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කිරීමටද අද රැස්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යෝජනා කර තිබෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සැප්තැම්බර් 21 වනදා යළි රැස්වන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු දේශපාලන පක්ෂ නායකයින් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, චන්ද්‍රසිරි ගජධීර සහ උදය ගම්මන්පිල අද කතානායකවරයා මුණ ගැසුණා. එහිදී නිදහස් සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරයෙකු ව්‍යවස්ථා සභාවට ඇතුළත් නොකිරීම පිළිබඳව කතානායකවරයාට කරුණු දැක්වු බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories