කදිරගාමර් ඝාතනය සහ සිද්ධි 16ක තොරතුරු එළියට

Friday, 11 September 2015 - 18:54

%E0%B6%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+16%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය පැවැති කාලසීමාවේ ඝාතන සිදුවීම් 16 ක් පිළිබඳ සොයා බැලීමට 2006 දී පත්කළ කොමිසමේ සහ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට 2013 දී පත්කළ කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වනවා. පළමු විශේෂ ජනාධිපති කොමිසම උදලාගම කොමිසම යන නමින්ද, දෙවැන්න මැක්ස්වෙල් පරණගම කොමිසම නමින්ද ප්‍රසිද්ධියට පත්වුණා.

උදලාගම කොමිසමේ වාර්තාව 2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇතත්, එය මෙතෙක් ප්‍රසිද්ධියට පත්වූයේ නැහැ. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් වාර්තාව සකස් කර අවසන් අතර, එය වත්මන් ජනාධිපතිවරයාට භාරදීම සඳහා දිනයක් ඉල්ලා තිබෙන බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම සභාපතීත්වය දැරූ පළමු කොමිසමට භාර වූයේ ඝාතන සිද්ධීන් 16 ක් පිළිබඳව පරීක්ෂා කිරීමයි. හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, මුතූර් හිදී සිදුවු සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය, කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, දිගම්පතන ආරක්ෂක අංශ සාමාජිකයන් 98 දෙනාගේ ඝාතනය ආදි සිදුවීම් ඊට අයත්.

කෙසේ වෙතත්, මෙම කොමිසම සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවක් වූයේ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබානොදීම සහ සාක්ෂිකරුවන්ගේ හා වින්දිතයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා නොදීමයි. පසුව මානව හිමිකම් ක්‍රියාධරයන් වන සංවිධාන කිහිපයක් අදාළ විමර්ශන කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට අවසර ඉල්ලා තිබුණා.

එහෙත් පසුව ඔවුන් ඉන් ඉවත් වුණා. ඒ පිළිබඳව පැහැදිලි කරන එසේ මැදිහත්ව සිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේ විවිධ පාර්ශවයන් පක්ෂග්‍රාහීත්වය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනා නිසා ඉන් ඉවත් වූ බවයි.         

2013 වසරේ පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමට පැවරූ කාර්ය භාරයක් වන්නේ අවසන් යුද සමයේදී ජාත්‍යන්තර මානුෂීය නීති කඩ වූවා ද යන්න සොයා බැලීමයි. මේ පිළිබඳව සකස් කළ වාර්තාවයි ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානම් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories