Update: කඩවුණු පොරොන්දුවලින් දැන් ශ්‍රී ලංකාව විනිශ්චය කරන්න එපා. - විදේශ ඇමති මංගල කියයි

Monday, 14 September 2015 - 15:53

Update%3A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අතීතයේ කඩවුණු පොරොන්දු සහ අත්දැකීම් තුළින් ශ්‍රී ලංකාව විනිශ්චය නොකරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරය අමතමින් ඔහු ඉල්ලා සිටියේ අපේම බලාපොරොත්තු සහ අභිලාශයන් මත අනාගතය ගොඩනැගීමට ඉඩ ලබාදෙන ලෙසයි. ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉවසීම සංහිදියාව සහ වගවීම සඳහා යන කාර්යයේදී අවශ්‍ය බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

‘‘හුඟක් අයගේ මතයක් තියෙනවා ශ්‍රී ලංකාවට රටක් ලෙස නැගී සිටින්න බැහැ, ප්‍රශ්න විසදන්න බැහැ කියලා. තවත් අය හිතනවා අපේ රටේ නීතියක් නැහැ කියලා. ඒ අයට මම කියනවා බලන්න, අපි ජනවාරි 8 වන දා ලබපු ජයග්‍රහණය. අපි එදා ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය යළි අගෝස්තු 17 වන දා නැවත වරක් ලෝකයට ඔප්පු කරලා පෙන්නුවා. අතීතයේ කඩවුණු පොරොන්දු සහ අත්දැකීම් තුළින් අපිව විනිශ්චය කරන්න එපා කියලා මම ඉල්ලනවා. අපි එහෙම නැහැ. අපේම බලාපොරොත්තු සහ අභිලාශයන් මත අපේම අනාගතයක් නිර්මාණය කරමිනුයි යන්නේ. අද තියෙන්නේ සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ වේදනාව හදුනාගත් රජයක්. අපි ස්වෛරීභාවය නමැති අත්මාර්ථකාමී අන්තයට මුවා වී ප්‍රතිපත්ති බිඳ හෙලන ආණ්ඩුවක් නොවේ. ඒ වෙනුවට අපි නිරතුරුවම කැප වෙනවා අපේ ජනතාවගේ සුබ සිද්ධිය, නිදහස සහ ඔවුන්ගේ ගැටළුවලට අවශ්‍ය උපකාර ලබාදෙන්න. ඒ සඳහා අවශ්‍ය අවස්ථාවලදී අපි ජාත්‍යන්තර සහාය ලබා ගන්න ද සූදානම්. ’’

‘‘ අපි ආණ්ඩු ලෙස අපේ වගකීම තමයි මිනිස්සුන්ට වගවීම. ජාතික ආණ්ඩුවක් ලෙස අපි ඒ සඳහා කැප වෙලා ඉන්නවා. ජාත්‍යන්තරයට දුන්න පොරොන්දු අපි ඉටු කරනවා. සමහරුන්ට අවැසි ආකාරයට සංහිදියාව කියන දේ වේගවත් නොවිය හැකියි. සමහරුන්ට අනුව අපි මේ වන විට ඉතාමත් ඉදිරියට ගොස් තිබෙනවා. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික වුවමනාවක් තියෙනවා බිය සහ ක්‍රෝධය පරදවා මේ රට ඉදිරියට ගෙන යාමට. දැනටමත් ශ්‍රී ලංකාව තුළ අපි යහපාලනය ඉතා හොදින් ක්‍රියාත්මක කරනවා. ඒකට හොදම උදාහරණය තමයි මේ රටේ විපක්ෂ නායක තනතුරට දැන් පත්වෙලා ඉන්නේ දෙමළ ජාතික සන්ධානය. ඒ වගේම මේ රටේ 44 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ දෙමළ ජාතිකයෙක්. ඒ හරහා අපි සුදුස්සාට සුදුසු තැන ලබාදීලා තියෙනවා. ’’

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12 යි 30 ට පමණ ආරම්භ වුණා. ආරම්භක දේශනය පවත්වමින් ජගත් මානව හිිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව අනිද්දා මානව හිමිකම් සැසිය වෙත ඉදිරිපත් කරන බවයි.

‘‘ අවුරුදු 6කට කලින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් මාස 3 තුළ සිවිල් වැසියන් මිය යාම සහ බරපතල මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබද පැමිණිලි අපට ඉදිරිපත් වෙලා තිබුණා. මේ කවුන්සිලය තවමත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව සංහිදියාව තුළින් ඉදිරියට යාම සදහා මේ සිදුවීම් පිළිබද වගවීමක් අවශ්‍යයි කියලා. ලබන බදාදා මම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද පුළුල් විමර්ශනයේ වාර්තාව මෙම සැසියට ඉදිරිපත් කරනවා. ඒ, මගේ නිර්දේශත් සමඟ. එම වාර්තාවේ සදහන් සොයා ගැනීම් බොහොමයක් ඉතා බරපතල ගණයේ ඒවා. පසුගිය ජනවාරි 8 වන දා පැවැති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෙන්වූ දැක්ම මා අගය කරනවා. ඒ වගේම ඔහුගේ නායකත්වය යටතේ නව රජය සිදුකළ කැප කිරීමුත් මම අගය කරනවා. නමුත් අතීතයේ සිදුවූ අසමත්වීම් සඳහා ප්‍රතිඵල ලබාදෙන වගවීමේ යාන්ත්‍රණයක් අවශ්‍යයි. අතීතයේ සිදුවූ අසමත්වීම් යළි යළිත් සිදුනොවීම සඳහා ඉතා ගැඹුරු සංස්ථාපිත වෙනස්කම් ගෙන ආ යුතුයි කියලයි මම හිතන්නේ.’’

යුරෝපා සංගමය වෙනුවෙන් මෙම සැසියට එක්ව සිටි නියෝජිතයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරමින් කියා සිටියේ මෙරට මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා තම සංගමය අඛණ්ඩව සහාය ලබාදෙන බවයි. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනයට දායක වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.



UIpdate: Monday, 14 September 2015 - 19:21
--------------------------------------------
විදේශ ඇමති මංගල ජිනීවා සමුළුව අමතයි

වගවීමේ ක්‍රියාවලිය සඳහා වූ පියවර ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය ජිනීවා නුවරදී මීට ටික වේලාවකට පෙර අමතමින්. දේශපාලන විසදුමක් සඳහා වූ ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. ජාතික ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලද මෙහිදී ඔහු පැහැදිලි කරනු ලැබුවා. සැසිය අරඹමින් ජගත් මානව හිිමිකම් කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් කුමරු කියා සිටියේ මීට වසර 6 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් කාලසීමාව තුළ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වගවීමක් අවශ්‍ය බවයි.
 
මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/D2gQdv


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories