UPDATE: ජගත් මානව හිමිකම් වාර්තාව මෙන්න

Wednesday, 16 September 2015 - 8:08

UPDATE%3A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

 බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිචෝදකයන් හෙවත් චෝදනා නගන්නන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී  ලංකාවට නිර්දේශ කරනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙම නිර්දේශය කළේ ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව අද (16) එම කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කරමින්.

2002 - 2011 කාලය අතර ශ්‍රී ලංකාවේ යුද ගැටුම් තුළ අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක්වන වඩාත් බරපතල ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුව ඇති බව එහි සඳහන්. මෙහිදී පැවති රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යන දෙපාර්ශවයටම චෝදනා එල්ල කර තිබෙනවා.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් කරුණු කිහිපයක් අවධාරණය කළා.

දේශීය ක්‍රියාවලියක් තුළින් වගවීමක් ලබාදීමට නව රජයේ ඇති කැපවීම ප්‍රශංසාවට ලක්විය යුතු කරුණක්. එහෙත් ශ්‍රී  ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය තවම ඊට සූදානම් නැහැ. ඊට කරුණු 03 ක් බලපානවා.

පළමුවැන්න වන්නේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් රැකගැනීමේ විශ්වාසවන්ත ක්‍රමයක් නොමැතිවීමයි. මෙවැනි අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට දේශීය නිතී රාමුව ප්‍රමාණවත් නොවීම දෙවැන්න ලෙස සැලකිය හැකියි. හදිසි තත්ත්වය, ගැටුම් සහ දඬුවම් නොලැබ සිටීම නිසා මෙරට ආරක්ෂක අංශය සහ අධිකරණ පද්ධතිය විකෘතියට මෙන්ම දූෂණයට ලක්ව ඇති ප්‍රමාණය තුන්වැනි අභියෝගයයි.

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් වාර්තාවේ එල්ල කර ඇති චෝදනා කරුණු 08 කින් සමන්විත වනවා.

නීති විරෝධී මිනිමැරුම්, ලිංගික සහ ස්ත්‍රී  පුරුෂභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්ද ඊට අයත්.

මීට අමතරව ළමයින් හමුදාවට බඳවා ගැනීම සහ ඔවුන් සටන්වලට යොදා ගැනීම මෙන්ම වැඩිහිටියන් පැහැරගෙන යෑම සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම, සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම, මානුෂීය ආධාර වැළැක්වීම සහ විවෘත නොවූ කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන් රැඳවීමද එහි සඳහන්.

මෙරට ආරක්ෂක හමුදාවලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී මිනිමැරුම් සිදුකර ඇති අතර, ඊට ගොදුරු වී ඇත්තේ දෙමළ දේශපාලකයන්, මානුෂීය සේවකයන්, ජනමාධ්‍යවේදීන් සහ සාමාන්‍ය පුරවැසියන්.

එල්.ටී.ටී.ඊ. සංවිධානයද ඉවක් බවක් නැතිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, බිම්බෝම්බ ප්‍රහාර එල්ල කරමින් රජයේ නිලධාරීන්, උගතුන් හා විරුද්ධ මතධාරී දෙමළ දේශපාලකයන් මෙන්ම දෙමළ, මුස්ලිම් හා සිංහල සාමාන්‍ය වැසියන් ඝාතනය කර තිබෙනවා.

ගැටුම හා සෘජු සම්බන්ධයක් නැති බොහෝ දෙනෙක් සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් ඇති බවද වාර්තාවේ සඳහන්. ගැටුම් අවසන් වූ විටත් පුළුල් ලෙස කුරිරු වධ හිංසා පමුණුවාලීම පිළිබඳවද ආරක්ෂක හමුදාවන්ට චෝදනා එල්ල වනවා.

ගැටුම් අවසාන කාලයේ එල්.ටී.ටී.ඊ. ය වැඩිහිටියන් පැහැරගෙන බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවා ගැනීම උග්‍ර වූ බවත් වාර්තාවේ සඳහන්.

කරුණාගේ සන්නද්ධ කණ්ඩායම ළමයින් පුළුල් වශයෙන් එල්.ටී.ටී.ඊ. යට බඳවාගෙන ඇති බවයි මෙහි දැක්වෙන්නේ. අවසන් මාස කිහිපයේ වයස අවුරුදු 15 ට අඩු ළමයින් එල්.ටී.ටී.ඊ. ය විසින් වැඩි වශයෙන් සිය කණ්ඩායමට බඳවාගෙන තිබෙනවා.

යුද මුක්ත කලාපවල රෝහල් ආදියට රජයේ හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් පැවසෙනවා.

එල්.ටී.ටී.ඊ. ය ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බලකර තිබෙනවා. ලක්ෂ 03 ක පමණ අභ්‍යන්තර අවතැන්වූවන් අන්තර්ජාතික නීතිය අනුව පිළිගත් කාලසීමාවට වඩා කඳවුරුවල රඳවා ගැනීම ඔවුන්ගේ නිදහස අහිමි කිරීමක්.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වන ලෙස ඩයස්පෝරාව ඇතුළු සියලූ ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට දේශීය අපරාධ අධිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශෝධනය කළ යුතු බවයි ඔහුගේ නිර්දේශය වන්නේ.

වාර්තාව සකස් කර ඇත්තේ ලිඛිත ප්‍රකාශ සහ ඉදිරිපත් කිරීම් 3000 ක් පමණ උපයෝගී කරගෙනයි. කලින් ප්‍රකාශයට පත් නොකළ ලිපි ලේඛණද ඊට යොදාගෙන තිබෙනවා.

ඇසින් දුටුවන්ගේ සාක්ෂි, වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා, අධිකරණ, වෛද්‍ය සහ හමුදා විශේෂඥයන්ගේ විශ්ලේෂණ ද වාර්තාව සකස් කිරීමට උපයෝගී කරගත් බවයි එහි දැක්වෙන්නේ. මෙහිදී සිදුවූ බාධාවක් ලෙස සිහිපත් කර ඇත්තේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර පැවති රජය ඉඩ ලබානොදීමයි.



ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද (16) ඉදිරිපත් කළ වාර්තාව,   කොළඹ  - එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මාධ්‍යට  නිකුත් කළේ මෙලෙසින්


Update : Wednesday, 16 September 2015 - 18:49
----------------------------------------------------------

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සැකසූ වාර්තාව  ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසියට ඉදිරිපත් කළා.

එමඟින් ශ්‍රී  ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයාබැලීම සඳහා විශේෂ දෙමුහුන් අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.

ඊට ජාත්‍යන්තර විනිසුරුවන්, නීතීඥවරුන් සහ පරීක්ෂකයන් ඇතුළත් විය යුතු බවයි වාර්තාව ඉදිරිපත් කරමින් ජගත් මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළේ.  

වාර්තාව කොටස් දෙකකින් සමන්විත වන අතර, වගවීම සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි කරුණු ඇතුළත් කර තිබෙනවා.

සිද්ධි සහ පරීක්ෂණ සම්බන්ධයෙන්ද වාර්තාවේ කරුණු සඳහන්. 


26 වසරක සිවිල් යුද්ධයේදී දස දහස් ගණන් මිනිසුන් අතුරුදන්වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.

බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම-   ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එහි දක්වා ඇත.

2009 දී අවසන්වූ යුද්ධයේ හැම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනින් බලහත්කාර අතුරුදන් කිරීමට ලක්වූ බව වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී  ලංකාවේ සිදුවූ බියකරු ලෙස සිදුවූ අයුතු ප්‍රයෝජන ගැනීම් පරීක්ෂා කිරීමට ශ්‍රී  ලංකාවට ජාත්‍යන්තරව සහාය අවශ්‍ය බවද එසේ කළ යුත්තේ එම අපරාධ විනිශ්චය කිරීමෙන් පසුව සංහිඳියාව ඇති කිරීම සඳහා බවද සඳහන්.

කඩවුණු පොරොන්දු-  අවකල් ක්‍රියා,  වසර ගණනක් තිස්සේ සිදුවූ කඩකිරීම් වලින් ශක්තිමත්ව පැතිරී ගිය සාධාරණ සැකය දේශීය අධිකරණ ක්‍රියාවලියකින් හුදෙක්ම මැඩපැවැත්වීමට නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් තම වාර්තාවේ සඳහන් කර ඇත.

ඔහු කියා සිටියේ දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

 

 


Update : Wednesday, 16 September 2015 - 14:49
----------------------------------------------------------

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාව අද  ජිනීවා සමුළුවට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව මෙරට වේලාවෙන් අද පස්වරු දෙකට ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන බව ජගත් සංවිධානය තහවුරු කළා.
වාර්තාව  සම්බන්ධයෙන් වු  විශේෂ මාධ්‍ය හමුවක්  ජගත්  මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ගේ ප්‍රධානත්වයෙන්  ජිනිවා නුවරදී පැවැත්වුණා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක රවීනා ෂාම් ඩේසානි අද ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඇය කියා සිටියේ එහි බරපතල කරුණු කිහිපයක් ද ඇතුළත් වන බවයි. කෙසේ වෙතත්, ඊට පිළිතුරුදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් සැලසෙනවා.

එසේම මෙම වාර්තාව පිළිබඳව ලබන 30 වනදා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රකාශ කළා. එහිදී අද ඉදිරිපත් වන වාර්තාව සැළකිල්ලට ගෙන ඊට අදාළව සවිස්තරාත්මක ප්‍රතිචාර දැක්වීමක් සිදුවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.  



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
අභ්‍යන්තර පරික්ෂණ විශ්වාස නැහැ - 60ක් ජිනීවා ට ලියයි




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories