දේශීය පරීක්ෂණය මාස 18 කින් අවසන් - ඇමති මංගල

Thursday, 17 September 2015 - 16:00

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+18+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD
ජගත් මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ද සැලකිල්ලට ගනිමින් දේශීය යාන්ත්‍රණයක් මාස 18 ක් ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම සඳහා කොළඹදී අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වූ සැකිල්ල මේ වනවිට සකස් කර අවසන් බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. එම සැකිල්ලට අනුව ප්‍රධාන යෝජනා 4 ක් යටතේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන් පළමු යෝජනාව වනුයේ සත්‍ය සෙවීම සඳහා ව්‍යවස්ථාවට යාන්ත්‍රණ දෙකක් ඇතුළත් කිරීමයි. ඉන් එක් යාන්ත්‍රණයක් වනුයේ සත්‍යය, යුක්තිය වෙනුවෙන් හා සිද්ධීන් නැවත ඇති නොවීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කොමිසන් සභාවක් පිහිටුවීමයි. එම කොමිසන් සභාව කොටස් දෙකකින් සමන්විතයි. ඉන් එකක් වනුයේ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාලක සභාවක් පත් කිරීමයි. ඊට අමතරව, කොමසාරිස්වරුන්ගෙන් සමන්විත ඒකකයක් ද පිහිටුවනු ඇති. මීට අමතරව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහය ඇතිව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමක් ව්‍යවස්ථානුකූලව ඇති කිරීම ද මෙම පළමු යෝජනාවට ඇතුළත්.

දෙවන යෝජනාව වනුයේ, විශේෂඥ දැනුමකින් යුත් නීතිඥයන්ගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. වන්දි සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම කාර්යාලයක් පිහිටුවීම දේශීය යාන්ත්‍රණයට අදාළ තුන්වන යෝජනාවයි.

සිව්වන යෝජනාව දේශිය යාන්ත්‍රණයට පදනම් වන වැදගත්ම යෝජනාව ලෙස සැලකිය හැකියි. එමගින් තරුණ කැළඹීම් යලි ඇති නොවීම, ත්‍රස්තවාදය යළි ඇති නොවීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ වැදගත්ම කරුණ ලෙස සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බවත් ඒ සඳහා නොබෙඳුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ විසඳුම් සෙවිය යුතු බවත් සඳහන් කර තිබෙනවා.

සකස් කරන ලද දේශීය යාන්ත්‍රණයේ ආකෘතිය ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ දැනටමත් ඉදිරිපත් කර අවසන්. එමෙන්ම, ජගත් මානව හිමිකම් කොමිසම ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය වාර්තාව ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර විශ්වාසය පළ කළේ ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති දේශීය යාන්ත්‍රණය පිළිබඳ යෝජනාවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අනුමැතිය ලැබෙනු ඇති බවයි.

ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ ආගමික නායකයන්, සිවිල් සංවිධාන සහ මහජනතාව සමඟ සාකච්ඡා ලබන මස සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ මත පදනම්ව ක්‍රියාත්මක කෙරෙන අවසන් දේශීය යාන්ත්‍රණය ලබන වසරේ ජනවාරි මාසය වනවිට සකස් කරන බවයි විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ. ඒ අනුව, ජනවාරි මාසයේ සිට මාස 18 ක් ඇතුළත දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර අවසන් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකිවූ බවයි.

ඊයේ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් වාර්තාවෙන් නිර්දේශ කර තිබුණේ විදේශ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories