වව්නියාවේ අතුරුදන් D.I.G. රිමාන්ඩ්

Sunday, 20 September 2015 - 6:54

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+D.I.G.+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වව්නියාව - කුඩාකච්චිකුඩිය වැව ඉස්මත්තේ නිධන් හැරීමේ සිද්ධියකට අනුබල දුන් බව කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

අතුරුදන්ව සිටි හෙතෙම  ඊයේ (19) පස්වරුවේ  කොළඹ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයට භාරවී තිබුණා. ඒ නීතිඥයෙකු මාර්ගයෙන්. පසුගිය දින කිහිපයේ හෙතෙම පොලිසිය මග හැර සිටි බව පැවසෙයි .

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි පොලිස් මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. 

මීට මාස 03 කට පමණ පෙර මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර, ඉන් 03 දෙනෙකු පොලිස් නිලධාරීන්. ඔවුන් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරීන් තුන්දෙනා අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත නිධන් හැරීමේ නිරත වී ඇති බවට එහිදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාව නැගෙනහිර පළාතට මාරු කර යවා ඇති බව සඳහන්.

පසුව මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය නීතිපති උපදෙස් ලබාගෙන ඇති අතර, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගන්නා ලෙස එහිදී නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකවන අතරතුරයි භාර වී ඇත්තේ.

නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායකගේ නිල රථය බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල් කර තිබියදී පසුගිය 17 හමුවූ බවද පැවසෙයි.  

නිල පොලිස් රියදුරා පවසා ඇත්තේ දින දෙකකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා මඩකලපුවේ සිට කොළඹට පැමිණි බවත් ඉන් පසු තමා ඔහු නුදුටු බවත්ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා 15 වැනිදා සිට අසනීප නිවාඩු වාර්තා කොට තිබුණු නමුත් නිවසේ හෝ පොලිස් රෝහලේ හෝ වෙනත් රෝහලකට ඇතුල්  වී නොමැති බවද පැවසුණා.  ඔහු සිටි තැනක් ඊයේ (19) වනතුරු දැනගන්නට හැකිවුණේ නෑ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories