ඇමෙරිකානු යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වෙයි

Thursday, 01 October 2015 - 17:33

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට සහය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව අද (01) ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වුණා. ඒ මේ සම්බන්ධයෙන් පැවති විවාදයෙන් අනතුරුවයි. මෙම යෝජනාවට රටවල් 25 ක් සම අනුග්‍රහය දැක්වීමට ද විශේෂත්වයක්.

අද (01) මෙරට වේලාවෙන් පස්වරු 5 ට පමණ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව විවාදයට ගැනුණේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසිවාරයේදීයි. මෙම යෝජනාව ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළද පසුව  ඕස්ට්‍රේලියාව, ජර්මනිය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ඊට සම අනුග්‍රහකයන් වශයෙන් එක් වුණා.

මෙම විවාදය ආරම්භ කළේ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතයා විසින්. ඉන් අනතුරුව අදහස් දැක්වු මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියා රාජ්‍යයන්හි නියෝජිතයින් කියා සිටියේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සහය ලබාදෙන බවද ඔවුන් ප්‍රකාශ කළා.

පසුව අදහස් දැක්වු බ්‍රිතාන්‍ය නියෝජිතයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ලක් රජය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට බ්‍රිතාන්‍යය සූදානම් බවයි.

ජිනීවා මානව හිමිකම් සැසියට එක්ව සිටින චීන රජයේ නියෝජිතවරිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවයි.

මීට අමතරව ඉන්දියාව මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා වීම තුළින් දෙමළ ජනතාවටද යහපතක් සිදුවන බවයි. ලක් රජය ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනසකට ඇති කැමැත්ත පිළිඹිඹු වන බවද ඉන්දියානු නියෝජිතයා ප්‍රකාශ කළා. මෙමඟින් අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප වන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.  ඕනෑම අවස්ථාවකදී අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඉන්දීය රජය සූදානමින් සිටින බවයි එම නියෝජිතයා තවදුරටත් කියා සිටියේ.

දකුණු අප්‍රිකාව සහ ඝානාවද ශ්‍රී ලංකාවට සහය දක්වමින් මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවටද මෙහිදී අදහස් දැක්වීමට අවස්ථාවක් හිමි වූ අතර, එහිදී අදහස් දැක්වු ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට එකඟතාවය පළ කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළා. ලක් රජය පසුගිය 08 වනදා ආරම්භ කළ ගමන තවත් ඉදිරියට යාම සඳහා සිදුකළ දිරිමත් කිරීමක් ලෙස මෙම යෝජනාව දකින බවයි ඔහු කියා සිටියේ. ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රාහකයින් ලෙසින් එක්වීමෙන් පෙන්නුම් කරන්නේ අපේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙම යෝජනාවේ තිබෙන සියලූ වගන්තීන් ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත බවද රවිනාථ ආරියසිංහ තවදුරටත් සඳහන් කළා.

අද සම්මත වූ යෝජනාව කරුණු 20 කින් සමන්විත වනවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ මානව නීති උල්ලංඝනය කිරීම් සඳහා වගවීමක් අවශ්‍ය බව ඊට ඇතුළත්. මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික අංශවලින් අන්තර්ජාතික සහය ලබාගෙන ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය සිදුකිරීමට ලබාදී ඇති නිදහස අගය කිරීමද යෝජනාවට අන්තර්ගතයි.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ ඇමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් කොළඹදී අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. පිවිතුරු හෙළ උරුමය කොළඹදී සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකානු යෝජනාවට පක්ෂව කටයුතු කිරීම රටට අහිතකර බවයි.

ජාත්‍යන්තරය එල්ල කරන යුද අපරාධ චෝදනා පිළිබඳව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. ඔහු කියා සිටියේ යුද සමයේ හෝ ඉන් පසු සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දේශීය හෝ විදේශීයව පැවැත්වෙන කුමන හෝ පරීක්ෂණයකට මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රතිවිරුද්ධ කණ්ඩායම කිසිසේත් කැමැත්ත පළ නොකරන බවයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ හයිබ්‍රිඞ් උසාවි සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවලට ශ්‍රී ලංකා රජය කිසිසේත්ම එකඟ නොවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories