ඇවන්ට්ගාඩ් නෞකාව පිළිබඳ නාවික හමුදා වාර්තාව, ආරක්ෂක අමාත්‍යාංශයට

Monday, 12 October 2015 - 13:51

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි  ඇවන්ට්ගාඩ් නෞකාව සම්බන්ධයෙන්  නාවික හමුදාව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද උදෑසන තමන් වෙත එම වාර්තාව ලැබුණු බවයි. ඒ අනුව එහි ඇතුළත් කරුණු මත  තුන්දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් හරහා පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළා.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා ගාලූ වරායට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ශ්‍රී ලංකා ධජය ඔසවා තිබූ මෙම නෞකාව පිළිබඳව නාවික හමුදාවට සැක මතු වී තිබුණා. ඒ අනුවයි නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම නැව වෙත ගොස් පරීක්ෂා කරනු ලැබුවේ. නැවේ කපිතාන්වරයා ශ්‍රී ලාංකිකයෙකු බව දැනුම්දී තිබුණ ද පසුව අනාවරණය වුණේ ඔහු යුක්රේන ජාතිකයෙකු බවයි. එමෙන්ම රක්නා ලංකා සමාගමට භාරදීමට ආයුධ රැගෙන ආ බවටද නාවික හමුදා මූලික පරීක්ෂණවලදී හෙළි වුණා. මෙලෙස පරස්පර තොරතුරු ලබාදීම හේතුවෙන් ඇවන්ට්ගාඞ් නෞකාව පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමටයි නාවික හමුදාව තීරණය කළේ.

ඇවන්ට්ගාඩ් සමාගමට අයත් ගාල්ල වරායට පැමිණි තවත් පාවෙන අවි ගබඩාවක් පිළිබඳව  මීට පෙර ද කතාබහට ලක්වුණා. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නමැති එම නෞකාවෙන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් හමුවුණේ පසුගිය ජනවාරි 18 වන දායි. ගිනි අවි 3154 සහ විවිධ වර්ගයේ උණ්ඩ හත්ලක්ෂ 47,859ක් එහි තිබී සොයාගෙන තිබුණා.

කෙසේ නමුත්, එම නෞකාවේ සිද්ධියට අදාළව ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සැම්තැම්බර් 7 වන දා අධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ කැදවූ අවස්ථාවේදියි. එහිදී නඩුව පවත්වාගෙන යාම අවසන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, නිශ්ශංක සේනාධිපතිට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරනු ලැබුවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට එල්ල වන චෝදනා පදනම් විරහිත බව අතිරේක සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා මහනුවර දී ඊයේ ප්‍රකාශ කළා. ඒ, නීතිපති යුවන්ජන් විජේතිලක සමඟ අස්ගිරි - මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.

එහිදී සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා වැඩිදුරටත් සදහන් කළේ ඇවන්ට්ගාඞ් සිද්ධියට අදාළව ගිනි අවි ආඥා පනත යටතේ අපරාධ නඩුවක් ගොනු කිරීමට හැකියාවක් නොමැති බවයි. එම සමාගමට ගිනි අවි තබා ගැනීමට එවකට සිටි ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසර ලැබී තිබීම නිවැරදි ද යන්න පිළිබඳව අවශ්‍ය නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගත හැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories