වර්ජනයේ නිරතවූ දෙමළ රැඳවියන් 6ක් රෝහලට

Wednesday, 14 October 2015 - 19:27

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොළඹ - මැගසින්, අනුරාධපුරය සහ මඩකලපුව  බන්ධනාගාරවල දෙමළ රැඳවියන් ආරම්භ කළ උපවාසය 03 වන දිනටත් අද (14) ක්‍රියාත්මක වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිනකට තුන් වරක් බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් උපවාසයේ යෙදෙන රැඳවියන් පරීක්ෂා කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ. වෛද්‍ය උපදෙස් මත මැගසින් බන්ධනාගාරයේ උපවාසකරුවන් හය දෙනෙකු බන්ධනාගාර රෝහලට මාරු කර යැවූ බවත්, අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසකරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර ලබාදුන් බවත් ඔහු කියා සිටියා.

මේ අතර, උපවාසයේ යෙදෙන රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් අද අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ තිබුණා. ඇමතිනී විජයකලා මහේෂ්වරන් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරද ඊයේ මැගසින් බන්ධනාගාරයට ගොස් උපවාසකරුවන් පිළිබඳ සොයා බැලූවා. එසේම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඊයේ යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේද උපවාසයක නිරත වුණා.

දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන ඇති පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලා ‘‘සම අයිතිය’’ ව්‍යාපාරයද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසද ඔවුන් එහිදී ආණ්ඩුවට බලකර සිටියා. ඊට සහභාගි වූ විරෝධතාකරුවන්, කළු පැහැති බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නිහඩව විරෝධතාවයේ යෙදීමද විශේෂත්වයක්.

අනතුරුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට පැමිණි අතර ලෝටස් වටරවුමේදී පොලිසිය එය වළක්වා නියෝජිතයන් 8 දෙනෙකුට පමණක් ජනාධිපති කාර්යාලයට යාමට අවසර ලබාදුන්නා. එහිදී ජනාධිපතිවරයාගේ සහකාර ලේකම්වරයෙකු වන ඩී.එස්. කොඩිකාර වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික සංජීව බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ උපවාසයේ නිරත දෙමළ රැඳවියන් පිළිබඳව රජයේ අවධානය යොමු නොවුනහොත් තමන්ද සිකුරාදා සිට බන්ධනාගාරයක් ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බවයි.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය පිළිබඳව අද  කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙනවා. ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අගමැතිවරයා, අධිකරණ සහ බන්ධනාගාර ඇමතිවරුන් මෙන්ම නීතිපතිවරයා එක්ව මේ පිළිබඳව සාකච්ඡාකර වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.



 
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories