වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට සත්‍යග්‍රහයක්

Friday, 16 October 2015 - 12:11

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුලූ දෙමළ රැඳවියන් ආහාර වර්ජනය කරමින් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කර දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය, ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වරුවේ අවසන් වුණා. අද උදෑසන වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වීමෙන් අනතුරුවයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය මෙලෙස සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළේ. කෙසේ වෙතත්, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම කැදවුම්කරුවෙකු වන නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරු 4ට සිය සත්‍යග්‍රහය අවසන් කළ බවයි.

මෙම සත්‍යග්‍රහයට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ පූජ්‍ය වටරැක විජිත හිමියන් ද එක්ව සිටියා. මේ අතර, අද යාපනය නගරයේදී මෙම සිරකරුවන්ගේ දෙමාපියන් විසින් ද ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

මෙම රැඳවියන් ආහාර වර්ජනය කරමින් ආරම්භ කර ඇති උපවාසය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කොළඹ - මැගසින්, අනුරාධපුර, මඩකලපුව ඇතුලූ තවත් බන්ධනාගාර කිහිපයක සිටින දෙමළ රැඳවියන් 150 දෙනෙකු පමණ මෙලෙස උපවාසයේ නිරතව සිටින අතර රෝගාතුර වූ රැඳවියන් 9 දෙනෙකු මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, මැගසින් බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරතව සිටින රැදවියන් බැලීමට අද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් බන්ධනාගාරයට පැමිණි අතර, අනතුරුව ඔහු මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

‘‘ අපි අද මැගසින් බන්ධනාගාරයට ගියා උපවාසයේ නිරත වෙලා ඉන්න රැදවියන් බලන්න. එහිදී බන්ධනාගාරයේ වෛද්‍යවරුන් ද අපිට මුණ ගැසුණා. ඔවුන් අපිට කිව්වේ රැදවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ මදි කියලා. ඒක නිසා මේ ගැටළුව විසදන්න ඉක්මනින් පියවරක් ගන්න ඕනි. අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා.’’

ඔහු ප්‍රකාශ කළේ එලෙසයි.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, වර්ජනයේ නිරත රැදවියන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, මන්ත්‍රීවරයා කියා සිටියේ බරපතල ගණයේ අපරාධකරුවන් ලෙස තහවුරු වූ පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවේ සිටින බවයි. ඔවුන් දේශපාලන සිරකරුවන් නොවන බව ද ඔහු අවධාරණය කළා.  

කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරම්වලට සම්බන්ධ දැනට බන්ධනාගාරගත කර සිටින සියලූ දෙනා වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න ඊයේ ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, උපවාසයේ නිරත වන මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද ඊයේ එම බන්ධනාගාරය වෙත ගියා. එහිදී අමාත්‍යවරයා රැඳවියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වසර ගත වන්නට පෙර රැඳවියන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories