Update: විමල් රට යන හැඩයි

Friday, 23 October 2015 - 10:09

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
අවලංගු ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් රහස් පොලිසිය අද (23) පෙරවරුවේ ප්‍රශ්න කිරීම් ආරම්භ කළා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අලූයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත්තේ යුරෝපයේ සංචාරයක් සඳහා විදේශ ගතවීමටයි. එහිදී ඔහුව ආගමන විගමන බලධාරින් නැවත හරවා යවා ඇත්තේ එම ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවට පවසමින්. පසුව ඔහු තවත් ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීම සඳහා යලිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින්ගේ දැනුවත් කිරීම මත රහස් පොලිසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් ද මේ පිළිබඳව අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඩුබායි බලා පිටත්වීම සඳහා අද අලූයම කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි. මන්ත්‍රීවරයා සතුව අවලංගු ගමන් බලපත්‍රයක් පැවතීම හේතුවෙන් ගුවන්තොටුපල බලධාරින් ඔහු හරවා යවා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව අද උදෑසන තමන්ගේ ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තලංගම පොලිසියේ පැමිණිල්ලක් ද ගොනුකර තිබෙනවා. ඒ අනුව, නව විදේශ ගමන් බලපත්‍රයකින් උදෑසන 10 ට පමණ යළිත් විදේශ ගත වීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන්තොටුපල වෙත පැමිණ ඇති අතර, ඔහුට වීසා නිකුත් කර ඇත්තේ පැරණි ගමන් බලපත්‍රයට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විදේශ ගතවීමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින් ඔහුව හරවා යවා ඇති බව මුල්වරට පාර්ලිමේන්තුවට අනාවරණ කළේ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ඒ පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස කථානායකවරයා ආණ්ඩු පක්ෂයට දැනුම් දුන් අතර, ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළා.

ඔහු කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවලංගු ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් විදෙස් ගත වීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මැදිහත්වීම මත ඔහුට සිය විදෙස් සංචාරය සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇති බව ද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.  

Update:Friday, 23 October 2015 - 12:09
---------------------------------------------

ගුවන් තොටුපළට ගිය විමල් ආපස්සට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යුරෝපය වෙත විදෙස් ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ ආගමන විගමන බලධාරින් ඔහු ආපසු හරවා එවීම ගැන පාර්ලිමේන්තුවේදී අද උදෑසන ප්‍රශ්න කෙරුණා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඒ ගැන සොයා බලා පිළිතුරක් ලබාදෙන බවයි. කෙසේ නමුත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා  ගුවන්තොටුපලෙන් හරවා එවීම ගැන තමා දැනුවත් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය සඳහන් කළා. මන්ත්‍රීවරයා ආපසු හරවා යවා ඇත්තේ ඔහුගේ ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බව පවසමින්. කෙසේ නමුත්, තම නව ගමන් බලපත්‍රය රැගෙන අද උදෑසන ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී රහස් පොලිසිය ඔහු නවතාගෙන ප්‍රශ්න කිරීමක් සිදුකරන බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories