Update: කරුණා, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර 13 සම්පූර්ණයෙන් ඉල්ලයි

Monday, 26 October 2015 - 11:25

Update%3A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB+13+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
උතුර - නැගෙනහිර ඒකාබද්ධ කර 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වී. ආනන්ද සංගරී නායකත්වය දරණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එකතු වීමේ තීරණය පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.  

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කරුණාට ඇත්තේ දැඩි විවේචනයක්. ඔවුන් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බවටයි ඔහු චෝදනා කළේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ කරුණා, කලකට පෙර එම සංවිධානයෙන් ඉවත්වීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ ළමා සොල්දාදුවන් යොදා ගැනීමට තමන් එරෙහිවීම වන බවයි.  

1983 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැදුණු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා, වසර 20ක් එම සංවිධානයේ කටයුතු කළා. කලක් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ කරුණා, නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉන් ඉවත්වූයේ 2004 වසරේ මාර්තු මාසයේදියි. ඒ, නැගෙනහිර පළාතේ ජනතාව එල්.ටී.ටී.ඊ.යේ කෙනෙහිලිකම්වලට ලක්වන බව පවසමින්.

කරුණාගේ ඉවත්වීම එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් ද වුණා. පසුව ඔහු ටී.එම්.වී.පී. පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකු ලෙස ද කටයුතු කළා. කරුණා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේ 2008 වසරේදීයි. ඉන් අනතුරුව ඔහු නැවත පදිංචි කිරීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සහ ජාතික ඒකාබද්ධතා රාජ්‍ය නොවන අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් කරුණා, එහි උප සභාපති තනතුරට පත්වූයේ 2009 වසරේ අප්‍රේල් 24 වන දායි. මේ වසරේ ජනවාරි 8 වන දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඔහුට තනතුරක් හිමි වූයේ නැහැ.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා එක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එහි නායක වී. ආනන්ද සංගරීගෙන් අප විමසීමක් කළා. ඔහු කියා සිටියේ තවමත් කරුණා පක්ෂයට එක්කරගෙන නොමැති බවයි. එහෙත් ඔහු බදවා ගැනීමට සූදානම් බව ආනන්ද සංගරී ප්‍රකාශ කළා.



Update: Monday, 26 October 2015 - 18:40
------------------------------------
කරුණා අම්මාන් නිදහස් පක්ෂයෙන් යයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට එකතුවීමට තීරණය කර තිබෙනවා. තමන් සමඟ කරුණා අම්මාන් පසුගියදා කළ සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් හුවමාරු වූ බවයි එම පක්ෂයේ නායක වී. ආනන්ද සංගරී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයක් දැරූ අතර, ඔහු දැන් එම පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරුණා අම්මාන් ඉවත් වන බවට දැනුම්දී නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම පක්ෂයේ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් වෙන් කෙරුණු උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කළ යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් පවසනවා. නිදහස් පක්ෂයෙන් ඉවත් වී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වීමට තීරණය කිරීමෙන් පසුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. වී. ආනන්ද සංගරී නායකත්වය දරණ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එක්වීමට තමන් තීරණය කළේ සිංහල පදනමක් සහිත ප්‍රධාන පක්ෂයක සාමාජිකයෙක්ව සිටියදී දෙමළ ජනතාවට සේවය කළ නොහැකි නිසා බව ද කරුණා අම්මාන් කියා සිටියා. නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය ලබන මස මුල් සතියේදී ලිඛිතව දැනුම් දෙන බවත් අනතුරුව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන බවත් ඔහු සඳහන් කළා.  එසේම, ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම සම්පූර්ණයෙන් බලාත්මක විය යුතු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කරුණා අම්මාන් තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories