Update : හිටපු ජනාධිපති අද යළිත් බරපතල වංචා සෙවීමේ කොමිසම හමුවට

Thursday, 29 October 2015 - 8:10

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද යළිත් බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ජනාධිපති කොමිසම කළ කැඳවීමකට අනුවයි. ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්  දෙවන වර මහජන සාක්ෂි විමසීම අද සහ හෙට සිදු කෙරෙනවා.

මේ අතර අද සිදුකෙරෙන මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා හිටපු  ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ද අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.  ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර්ද පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට මහජන සාක්ෂි විමසන ස්ථානයට ඇතුලූවීමට පොලීසිය අවසර ලබාදී නැහැ.

ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම, පසුගිය සැප්තැම්බර් මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවසට ගොස් මුල්වරට ප්‍රකාශයක් ලබාගත්තා. ඉන් අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, ජනාධිපති විමර්ශන කොමිසම සිදුකළ පළමු මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට පසුගිය 10  වනදා හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා. එම අවස්ථාවට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තද එක්ව සිටියා. කෙසේ වෙතත් එදින කොමිසමේ කටයුතු අතරමග අත්හිටුවීමට සිදුවූයේ හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයන් කොමිසමේ සංයුතිය පිළිබඳව එල්ල කළ මූලික විරෝධතාවක් හේතුවෙන්.

යළි 11 වනදා පෙරවරුවේ කොමිසම රැස්වූ අතර, එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා. මීට අමතරව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තද ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

Update : Thursday, 29 October 2015 - 13:11
----------------------------------------------

හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද නැවත වරක් බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද සහ හෙට දිනවලදීත් ජනාධිපති කොමිසම මගින් මහජන සාක්ෂි විමසීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා කොමිසම හමුවේ යළිත් වරක් පෙනී සිටින ලෙසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ.

පසුගිය මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපතිවරයාට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ පසුගිය මස 17 වනදායි. එහෙත් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැනුම්දී තිබුණේ පසුගිය 23 වනදා පස්වරුවේ ඒ සඳහා පැමිණෙන ලෙසයි. ඒ අනුවයි ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ මිරිහානේ පිහිටි නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මීට පෙර කිහිප දෙනෙකු බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා. නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර ද ඒ අතර වනවා.

එමෙන්ම, ස්වාධීන රූපවාහිණි සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන සහ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන්ගෙන් ද බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා.

මෙම කොමිසමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක්  කොමිසම පසුගියදා ප්‍රතික්ෂේප කළා. මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් මෙම විරෝධතාව ගොනු කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories