පොලීසිය භාර ඇමති ඉල්ලා අස්විය යුතුයි. - ජවිපෙ

Sunday, 01 November 2015 - 19:25

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරණ සිසුන් පසුගිය දා පැවැත්වූ විරෝධතාවයේදී පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානම් වනවා. හෙට දිනයේදී එම පැමිණිලි මානව හිමිකම් කොමිසම වෙත යොමු කරන බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සදහන් කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරණ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරන ලෙස ඉල්ලමින්. එම අවස්ථාවේදී පොලීසිය කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 39 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සදහන් කළේ පොලීසිය, මෙම ප්‍රහාරය එල්ල කළේ ආණ්ඩුවේ අනුදැනුම මත බවයි.

මෙම මාධ්‍ය හමුවට සිද්ධියෙන් තුවාල ලැබූ දෙහිවල උසස් අධ්‍යාපන තාක්ෂණික ආයතනයේ ඉගෙනුම ලබන ශෂිනි සංදීපනී නමැති ශිෂ්‍යාව ද එක්වුණා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියා.                          

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරන සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර ආණ්ඩුව අයවැයෙන් අධ්‍යාපනය සඳහා සියයට 6 ක ප්‍රමාණයක් වෙන් කර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

එමෙන්ම එම සිදුවීම හෙළා දකිමින් ඒකාබද්ධ විපක්ෂය ද අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වුණේ සිද්ධියෙන් අනතුරුව පොලීසිය සිදුකරන ප්‍රකාශ ද ඒකාබද්ධ විපක්ෂය හෙළා දකින බවයි.

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කිරීමට සහ අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාවට හිමි උපාධි සමානතාව නැවත බලාත්මක කරන ලෙස ඉල්ලා අනුරාධපුර - පොතානේගම උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා ආයතනය ඉදිරිපිට දී අද විරෝධතාවක් පැවැත්වුණා.



මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය ජනතාවට දුන් සංඥාවක්ද?


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories