update: රටේ ලෙඩේට අගමැතිගෙන් තිත්ත බෙහෙතක්

Thursday, 05 November 2015 - 15:01

update%3A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
රටේ අසනීපය නිට්ටාවටම සුවකර ගැනීමට තිත්ත බෙහෙතක් ලබාදීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළා. ඒ, රජයේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්.

මධ්‍ය කාලීන ඉලක්කයන් 5 ක් සපුරා ගැනීම මෙමඟින් අපේක්ෂිතයි.

රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, ජනතාවට දේපළ අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ඊට අයත්.

 2020 වනවිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% දක්වා අඩු කෙරෙනු ඇති.

වක්‍ර බදු සහ ඍජු බදු ලබාගැනීමේ අනුපාතය 80% සහ 20% සිට, 60% සහ 40% දක්වා වෙනස් කිරීමටද නියමිතයි.

එමෙන්ම බදු සහන සහ නිදහස් කිරීම් අවම කෙරෙනවා.

එක් වරක් පමණක් අය කෙරෙන බදු මෙන්ම අතීතයට බලපාන බදු ද අත්හිටුවන අතර ශ්‍රී ලාංකිකයන් විදේශයන් හිදී උපයන ආදායම බදුවලින් නිදහස් කිරීමට නියමිතයි.

සුපිරි වාසි බද්ද තවදුරටත් පවත්වාගෙන යන්නේ නැහැ.

අඩු බදු අය කරන රාජ්‍යයක් බවට පත්වීම රජයේ අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ.

ඉඩම් සන්තකය පැවරීමේ හා සීමා කිරීමේ පනතෙන් පනවා ඇති බදු, ලියාපදිංචි ආයෝජකයන්ට බල නොපාන ආකාරයට නීති සකස් කෙරෙනු ඇති.

දේශීය ව්‍යවසායකයින්ට 2016 සිට බදු සහන ලබාදීමටද නියමිතයි.

 රැකියා දස ලක්ෂයක ඉලක්කය වසර 05 ක් තුළදී සපුරා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ආර්ථිකය ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, තරඟකාරී විදේශීය ආයතනයන්ට රට තුළ ආයෝජනය කිරීම දිරිමත් කෙරෙනු ඇති.

ලක්ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම නිවාස සහ දේපළ අයිතිය ලබාදෙන අතර වසර 10 කට වැඩි කාලයක් බලපත්‍රලාභී ඉඩම්වල සිටින ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට නියමිතයි.

රජයේ කුලී නිවාසවල වසර 10 කට වැඩි කාලයක් වාසය කරන්නන්ට නිවාසවල අයිතිය සින්නක්කරවම ලබාදෙනවා. වතුකයේ ලයින් කාමරවල වසර 10 කට වඩා වැඩි කාලයක් ජීවත් වන්නන්ට කුඩා ඉඩමක නිවාස අයිතිය ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. වසර 05 ක් තුළ නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ විසඳනු ඇති.

 රජයේ පොදු ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ඒවායේ අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනු ඇති.

රාජ්‍ය ව්‍යවසායන්ට සම්බන්ධ නැති හෝටල් සහ ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කොටස් වෙළඳපොල හරහා විකුණා දැමීමට නියමිතයි.

මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදායම් ලබන ආයතන බවට පත්කිරීම සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකෙරෙනවා.

 සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවන අතර විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති. සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම මහ බැංකුවෙන් ඉවත් කෙරෙනවා.

 ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ස්ථාපිත කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවි අධිකාරියක් මෙන්ම තේ කර්මාන්ත කමිටුවක්ද පිහිටුවනවා.

 වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙන්ම පන්තියක ළමයින් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කර ඩිජිටල්කරණය පාසලටද හඳුන්වාදීමට නියමිතයි.

දැනුම සහ කුසලතා මත පැනවුණු බදු ඉවත් කිරීමේ ආරම්භක පියවරක් ලෙස පොත් සහ ක්‍රීඩා භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කෙරෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
   

Update: Thursday, 05 November 2015 - 19:19
------------------------------------------------------------

ඉඩම් නැති අයට ඉඩම්, කුලී ගෙවල්වල ඉන්න අයට ගෙවල්

විවිධ බලපත්‍ර යටතේ රජයේ ඉඩම් ලබාදී ඇති ලක්ෂ 30කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මීට අමතරව රජයේ නිවාසවල වසර 10කට වඩා ජීවත් වන පුද්ගලයන්ට එම නිවාසවල අයිතිය ලබාදීමට ද කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක් කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල නමින් නව අරමුදලක් ද පිහිටුවන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල පිළිබදව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ඉඩම් නොමැති ලක්ෂ 30කට සින්නක්කර ඉඩම්.
වසර 10ක රජයේ කුලී නිවැසියන්ට එම නිවසේ අයිතිය.
EPF සහ ETF එකතු කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල නමින් නව අරමුදලක් පිහිටුවීම.
පොත් සහ ක්‍රීඩා භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories