කොටි සැකකරුවන් ඇතුලූ රැඳවියන් 31කට ඇප

Tuesday, 10 November 2015 - 20:10

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+31%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන්ගේ ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට රජය උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා  පවත්වා මෙම පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී. රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116කට නඩු පවරා ඇති අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති සංඛ්‍යාව 52ක්.

ඉන් සැකකරුවන් 10 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේ අදාළ රජයේ නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

අදාළ සැකකරුවන්ගේ නීතීඥයන් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් පසු අදාළ අධිකරණ එම අයදුම්පත් සළකා බලනු ඇති.

මීළඟ අදියරයේදී තවත් රැඳවියන් තිස් දෙදෙනෙකු ඇප මත මුදාහැරීමට කටයුතු කෙරෙනු ඇති. එමෙන්ම අනෙකුත් රැඳවියන් සම්බන්ධයෙන්ද පවත්නා නඩු කටයුතු අධ්‍යයනය කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට රජය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

කෙසේ වෙතත් කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ රැදවියන් 107 දෙනෙකු සහ අනුරාධපුර බන්ධනාගාරයේ දෙමළ රැදවියන් 29 දෙනෙකු ආරම්භ කළ උපවාසය මේ වන විටත් ක්‍රියාත්මකයි.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ රැදවියන් පිරිසක් බන්ධනාගාර කිහිපයක මීට පෙර ද දින 6ක උපවාසයක් ක්‍රියාත්මක කළ අතර, රජය ලබාදුන් පොරොන්දුවකට අනුව එම උපවාසය අවසන් කරනු ලැබුවා. අනතුරුවයි ඔවුන් යළිත් මෙලෙස උපවාසයේ නිරතවන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු දෙමළ රැදවියන් නිදහස් කරන බව පවසා රජය දෙමළ සන්ධානය රවටා ඇති බවයි.

ආණ්ඩුව බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැදවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් රංගනයක යෙදී සිටින බව ද ඊයේ දිනයේදී උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ද ප්‍රකාශ කළා. එසේම අද දිනයේ මන්නාරමේදී මෙම රැඳවියන් නිදහස් කරන ලෙස උද්ඝෝෂනයක්ද පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ මන්නාරම දිස්ත්‍රික් පුරවැසි බලය සංවිධානය සහ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළේ මෙම රැඳවියන්ට නිදහස නොලැබුණහොත් ලබන සිකුරාදා දිස්ත්‍රික්ක 5 ක හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

 මේ අතර, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සංදේශයක් භාර දුන්නා. එහි කැදවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන සුන්දරම් මහේන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට එම සංදේශය භාර දුන් බවයි.

කෙසේ වෙතත් දෙමළ රැඳවියන්ගෙන් පිරිසක් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප හිමිවනු ඇති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කරන්නේ මෙලෙස එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට ඇප ලබාදීම අනුමත කළ නොහැකි බවයි. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (10) පැවති රැස්වීමක් අමතමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories