ජලාශ, වැව් වාන් දමයි - අද රාත්‍රියේත් තද වැසි

Saturday, 14 November 2015 - 19:12

%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%2C+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14) රාත්‍රියේදීත් ඉතා තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතැම් ස්ථානවලට බලාපොරොත්තු වන බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් කියා සිටියේ.

උතුරු, නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස ධීවර, නාවික ප්‍රජාවගෙන් ද කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එමෙන්ම, අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ උපරිම වර්ෂාපතනයක් උතුරුමැද පළාතේ ඇතාවැටුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 156 ක්.

පසුගිය දින කිහිපය තුළ රජරට ප්‍රදේශයට අඛන්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් විශාල සංඛ්‍යාවක් මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවයකින් යුත් කලාවැව වාන් දැමීමත් සමඟම එහි හදිසි වාන්දොරටු දෙක අඩි 3 බැගින් මේ වනවිට විවෘත කර ඇති බව සඳහන්. එම වාන්දොරටු දෙකෙන් තත්ත්පරයට ඝණ අඩි 3000 ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙනවා. එම ජලය කලා ඔය ඔස්සේ රාජාංගනය වැවට පැමිණීමත් සමඟ රාජාංගනය වැවේ ජල මට්ටම් පාලනය කිරීම සඳහා එහි වාන්දොරටු 30 න් 6 ක් මේ වනවිට විවෘත කර ඇති බවයි රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේ.

අනුරාධපුරයේ - නාච්චාදූව සහ නුවර වැව ද වාන්දැමීම ආරම්භ වීමත් සමඟ එම වැව්වල ද වාන්දොරටු විවෘත කර මල්වතු ඔයට ජලය මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නාච්චාදූව වැවේ වාන්දොරටු හයම සහ නුවරවැවේ වාන්දොරටු හතරම විවෘත කර ඇති බවයි ඒවායේ වාරි ඉංජිනේරුවන් සඳහන් කළේ. එම වැව් දෙකේ වාන් ජලය මල්වතු ඔයට එක්වීමත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ පහත් බිම් මේ වනවිට ජලයෙන් යටව ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, තිසාවැව, බසවක්කුලම වැව, මහවිලච්චිය වැව, මහකනදරා වැව සහ ඒරු වැව ද මේ වනවිට වාන්දමමින් පවතින අතර පදවිය, වාහල්කඩ සහ හුරුළු යන වැව්වල ද ජල ධාරිතාවය වාන් මට්ටමට ළඟා වෙමින් පවතින බවයි එම වැව්භාර වාරිමාර්ග ඉංජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ.  

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම සියයට 80 මට්ටමට පැමිණ ඇති බව එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පුත්තලම, මන්නාරම සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි එම ප්‍රදේශවල හිරු වාර්තාකරුවන් කියා සිටියේ. වැසි ජලය හේතුවෙන් හලාවත මහරෝහලේ වාට්ටු 4 ක සහ දැඩි සත්කාර ඒකකයට ජලයෙන් යටවීම නිසා එහි සිටි රෝගීන් කොළඹ ජාතික රෝහල, මාරවිල සහ කුලියාපිටිය රෝහල්වලට මාරු කර යවා ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර, පවතින වර්ෂාවත් සමඟ මාරවිල, තල්විල ප්‍රදේශයේ වෙරළ තීරය ස්ථාන දෙකකින් ඛාදනය වීමේ අවදානමක් මතුවී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories