මරණ දඬුවම නියම වූ වාස් ගුණවර්ධන වෙනුවෙන් අභියාචනයක්

Saturday, 28 November 2015 - 8:28

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට නියම කරන ලද මරණ දඩුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසනවා. දින 14ක් ඇතුලත එය ගොනු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නීතිඥවරයෙකු සදහන් කළේ.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකවරුන් 6 දෙනාට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ මරණ දඩුවම නියම කළා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මරණ දඩුවම නියම කළ පළමු අවස්ථාව ද මෙයයි. පිටු 802කින් සමන්විත මෙම නඩුවේ තීන්දුව කුසලා සරෝජනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු ලලිත් ජයසුන්දර ප්‍රකාශයට පත් කළා.

2013 වසරේ අප්‍රේල් මස 4 වන දාත්, මැයි මස 22 වන දාත් අතර කාලයේ කොළඹ දී මොහොමඞ් ෆවුස්ඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ සමඟ එක්ව මොහොමඩ් සියාම් නැමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා 10ක් යටතේ මෙම සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණා. කෙසේ වෙතත්, මොහොමඞ් ෆවුස්ඩීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ රජයේ සාක්ෂිකරුවන් වීම ද විශේෂත්වයක්.

මරණ දඩුවම නියම කිරීමට පෙර විත්තිකරුවන්ට යමක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි විනිසුරු මඩුල්ල මොවුන්ගෙන් විමසා තිබුණා. එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත්තේ මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා වගකීමකින් බැහැර කරන බවයි. තමා සියාම් නමැති කෙනෙකු නොහදුනන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. රහස් පොලීසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පහර දී සාක්ෂි එකතු කර ඒවාට සරිලන ලෙස නඩු නිර්මාණය කරන බවයි වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තමාගේ පුත්‍රයා ද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා. පුත්‍රයා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කර ගැනීමට තමාට කිසිදු වුවමනාවක් නොමැති බවයි වාස් ගුණවර්ධන අධිකරණය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

එම අවස්ථාවේදී වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන ද අධිකරණය හමුවේ කියා සිටියේ තමාගේ පියා රට වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකු බවයි. ඒ වෙනුවෙන් ඔහුට සිද්ධ වූයේ සිරගෙදරට යාම බව ද රවිදු ගුණවර්ධන මෙහිදී කියා සිටියා. සිය පියා සමඟ එකට සිර ගෙදරට යාමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවයි ඔහු විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ.

මේ අතර, තම පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන, වරදකරු නොවන බව ඝාතනයට ලක්වූ මොහොමඞ් සියාම්ගේ පියා ප්‍රකාශ කළා. සිද්ධියට අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් තමන් ඊට අදාළව සාක්ෂි ලබාදීමට ද සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories